2026-10-27 20:32 Hours

නව පනත ගෙන එන්නේ ත්‍රස්තවාදය හා සංවිධානාත්මක අපරාධ මර්දනයටයි - ඇමති නලින්ද


...

රට ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කර ගැනීම සහ සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීමේ ප්‍රධාන අරමුණින් රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා වන නව පනත ගෙන එන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

අද (27) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

කොණ්ඩය වවා තිබීම හෝ ශරීරයේ පච්ච සලකුණු තිබීම වැනි කරුණු පනතට ඇතුළත් කර ඇත්තේ සාමාන්‍ය පුරවැසියන් ඉලක්ක කරගෙන නොව, සංවිධානාත්මක අපරාධ කල්ලිවලට සම්බන්ධ පුද්ගලයන් පහසුවෙන් හඳුනා ගැනීම සඳහා බව ද ඔහු පැවසුවා.

සංවිධානාත්මක අපරාධවලට සහාය දක්වන, ආධාර හා අනුබල දෙන පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට ද මෙම පනත මඟින් ප්‍රතිපාදන සැලසෙන බව අමාත්‍යවරයා සඳහන් කළා.

තවද, ත්‍රස්තවාදය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය බලතල සහිතව මෙම පනත ක්‍රියාත්මක වන බව ද නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

"සංවිධානාත්මක අපරාධ කල්ලියක් සහ මේ තුන් හතර දෙනෙක් එකතු වෙලා කරන සාකච්ඡාවක් ගැන හඳුනා ගන්න බැරිනම් ඒ පොලිසිය, අධිකරණය, නීතියෙන් වැඩක් නෑනේ. ඒ නිසා මේ හදලා තියෙන්නේ සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයින්, ඒ අයට අනුබල දෙන අය, ඒ අයට මූල්‍ය අනුග්‍රහය ලබා දෙන අය දැනුවත්ව ඒ අයට පහසුකම් සපයන අයට නීතිය ක්‍රියාත්මක කරන එක.

ඒකට කවුරුත් බය වෙන්න ඕන නෑ. සංවිධානාත්මක අපරාධයක් ගැන නොදැන කටයුතු කිරීම සම්බන්ධයෙන් කවුරුත් බය වෙන්න ඕනේ නෑ. මේක පැහැදිලිවම සංවිධානාත්මක අපරාධ කල්ලි පිළිබඳව. ඔය පච්ච කොටපු, කොණ්ඩේ වවපු ඔබ ඔය පැහැදිලිව හොඳට කියවලා බලන්න ඒ ලියලා තියෙන්නේ සාමාන්‍ය කට්ටියට නෙමෙයි ඒ ලියලා තියෙන්නේ සංවිධානාත්මක අපරාධ කල්ලිවලට සම්බන්ධ අයට.

ඒ අය හඳුනා ගැනීමේ ක්‍රියාවලියක් මිසක් එහෙම නැතිව මිසක් සංවිධානාත්මක අපරාධකරු කියලා දැන් කවුරුහරි අත්අඩංගුවට ගන්නවාද නිකං අය? එහෙම වෙන්නේ නෑනේ. මේ පනතෙන් ශක්තිමත් කරන්නේ සංවිධානාත්මක අපරාධවලට අනුබල දෙන, ආධාර දෙන සහ ඒ වෙනුවෙන් සක්‍රීව ඒ වෙනුවෙන් යෙදී ඉන්න අය.

අනිත් එක ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත කියන්නේ ඇත්තටම ඒක අවශ්‍යයි. ත්‍රස්තවාද කියන එක ලෝකේ රටවල් අනුව වෙනස් වෙනවා. ලෝකේ එක රටක ත්‍රස්තවාදියා කියන්නේ මේකයි කියලා නිර්වචනයක් නෑ. ලෝකේ පිළිගත්ත නිර්වචනයන් තියෙනවා.

ඒත් ඒ අත්අඩංගුවට ගන්න පුද්ගලයින් අධිකරණය හමුවට පැමිණවීම සඳහා වෙච්ච බලතල සහිතව තමයි මේ පනත් දෙක ක්‍රියාත්මක වෙන්නේ. අපේ පොරොන්දුව තිබුණේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීම.

එය අහෝසි කරලා රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කර ගැනීමටත් ඒ වගේම මේ හැමතැනම වර්ධනය වෙලා තියෙන සංවිධානාත්මක අපරාධ මර්දනය කර ගැනීමටත් තමයි මේ පනත් දෙක ගේන්නේ. මේ පනත් දෙකට නීතිය ඉස්සරාහ ඉඩක් තියෙනවා නීතිය කියාවි මේදෙක මානව හිමිකම්වලට ගැලපෙන්නේ නෑ කියලා. ඒ අනුව අධිකරණය ලබා දෙන තීන්දුව අනුව පාර්ලිමේන්තුව කටයුතු කරන්න සූදානම්.

කෙසේ නමුත් මේ දෙක නැත්නම් ගේන්න වෙන්නේ PTA එක තමයි."



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk