2026-09-13 11:58:00 Hours

අණ නොතකා ධාවනය කළ වෑන් රථයට පොලිසියෙන් වෙඩි


...

ගම්පහ, අස්ගිරිය ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලීසිය විසින් ඊයේ (12) රාත්‍රියේ වෙඩි තබා තිබෙනවා.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරකට අනුව ගම්පහ ප්‍රදේශයට වෑන් රථයක් මගින් මත්ද්‍රව්‍ය බෙදාහරින බවට අනාවරණය වීමත් සමඟ වැලිවේරිය පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් මෙහෙයුමක් ආරම්භ කර තිබුණා.

එහිදී අදාළ වෑන් රථය උඩුගම්පොළ දෙසට ධාවනය වන බවට තොරතුරු තහවුරු කර ගැනීමෙන් පසු පොලිස් නිලධාරීන් ජීප් රථයකින් එය පසුපස හඹාගොස් තිබෙනවා.

පසුව උඩුගම්පොළ මාර්ගයේ මල්වත්ත හන්දිය ප්‍රදේශයේදී වෑන් රථය නවතා තිබියදී පොලිස් නිලධාරීන් එය පරීක්ෂා කිරීමට උත්සාහ කර ඇති බව සඳහන්.

එම අවස්ථාවේදී වෑන් රථයේ රියදුරු එය කිහිපවරක් පසුපසට සහ ඉදිරියට ධාවනය කරමින් මාර්ගයේ ගමන් කළ වාහන කිහිපයකට අනතුරු සිදුකර ඇත.

අනතුරුව පොලිස් ජීප් රථයේද ගැටී පොලිස් නිලධාරීන්ට අනතුරක් සිදුකරමින් පලා යාමට උත්සාහ කිරීමේදී පොලීසිය වෑන් රථය දෙසට වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ වෑන් රථයේ රියදුරු පොලිස් ආරක්ෂාව යටතේ ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පසුව වෑන් රථය පරීක්ෂා කිරීමේදී එහි තිබී හෙරොයින් ග්‍රෑම් 15ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 9ක් සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිවේරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk