2026-09-13 21:40:00 Hours

ජනාධිපති සමාව අහෝසි කිරීමෙන් පසු ඥානසාර හිමි සොයාගැනීමට නොහැකි වෙයි


...

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සොයාගැනීමට නොහැකි වී ඇති බව වාර්තා වනවා.

ඒ, උන්වහන්සේට 2019 වසරේදී ලබාදී තිබූ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අහෝසි කිරීමෙන් අනතුරුවයි.

ඥානසාර හිමියන්ට නියම වූ වසර හයක සිරදඬුවමෙන් ඉතිරි කාලය ගෙවීම සඳහා නැවත බන්ධනාගාරගත කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා බන්ධනාගාර නිලධාරීන් රාජගිරිය - නාවල ප්‍රදේශයේ උන්වහන්සේ වැඩසිටි විහාරස්ථානය වෙත ගොස් ඇති බවයි The Sunday Island පුවත්පත වාර්තා කරන්නේ.

කෙසේ වෙතත්, ඥානසාර හිමියන් මේ වනවිට සිටින ස්ථානය පිළිබඳව තමන් නොදන්නා බව විහාරස්ථානයේ වැඩසිටි අනෙකුත් භික්ෂූන් වහන්සේලා බන්ධනාගාර නිලධාරීන්ට දැනුම්දී ඇති බව සඳහන්.

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදී තිබුණේ උන්වහන්සේ වසර හයක සිරදඬුවමක් විඳිමින් සිටියදීයි.

එම අවස්ථාව වනවිට උන්වහන්සේ මාස නවයක පමණ කාලයක් සිරදඬුවම් විඳ තිබූ බවයි වාර්තා වන්නේ.

අදාළ ජනාධිපති සමාව අත්තනෝමතික ලෙස ලබාදී ඇති බවත්, එමගින් මහජන විශ්වාසය සහ ස්වාභාවික යුක්තියේ මූලධර්ම උල්ලංඝනය වී ඇති බවත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල තීන්දු කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපති සමාව බලරහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවත් සමඟ ඥානසාර හිමියන්ට නියම වූ සිරදඬුවමෙන් ඉතිරි කාලය ගෙවීමේ තත්ත්වයට මුහුණදීමට සිදුව ඇත.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk