2026-09-09 20:50:00 Hours

කෝටි 500ක අයිස් අල්ලන්න සහය වූ උපායදූතයා මරන්න කළ සැළසුම අසාර්ථක වෙයි


...

පොලිස් උපාය දූතයෙකු ඝාතනය කිරීමට උත්සාහ කළ සංවිධානාත්මක අපරාධකරුවන් විසින් භාවිත කළ බවට සැක කෙරෙන ව්‍යාජ පොලිස් ජීප් රථයක් ඊයේ (08) වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් සොයාගෙන තිබෙනවා.

2025 නොවැම්බර් 29 වනදා සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ මෙහෙයවීමෙන් කිරින්ද මුහුදුබඩ ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 325ක්, සැකකරුවන් 8 දෙනෙකු සහ වාහන 6ක් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය තොරතුරු ලබාදී ඇත්තේ මෙම උපාය දූතයා විසින් බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 500කට අධික බව සඳහන්.

කෙසේ වෙතත්, විදේශගතව සිටින බව කියන සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු වන 'රූබන්' සහ 'අංගොඩ ප්‍රියංකර' විසින් මෙහෙයවන ලද මෙම මත්ද්‍රව්‍ය ජාවාරම පොලිසියට හසුවීමෙන් සිදුවූ අලාභයට පළිගැනීමක් ලෙස උපාය දූතයා පැහැරගෙන ගොස් ඝාතනය කර, ඔහුගේ හිස සහකාර පොලිස් අධිකාරීවරයාගේ නිවස ඉදිරිපිට තැබීමට සැලසුම් කර තිබූ බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

එම සැලසුම ව්‍යර්ථ වී මාස 9කට පමණ පසුව, පසුගිය 05 වනදා උදෑසන 6.00ට පමණ කිරින්ද වරාය දෙසට ගමන් කරමින් සිටි උපාය දූතයා ව්‍යාජ පොලිස් ජීප් රථයකින් හප්පා ඝාතනය කිරීමට උත්සාහ කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

එහිදී උපාය දූතයා එම රථයෙන් බේරීමට උත්සාහ කිරීමේදී තුවාල ලබා ඇති අතර, මේ වනවිට පොලිස් ආරක්ෂාව යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

සිද්ධියෙන් පසු පලාගිය ජීප් රථය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන්, කඩුවෙල හේවාගම ප්‍රදේශයේ ගරාජයක සඟවා තිබියදී අදාළ ව්‍යාජ පොලිස් ජීප් රථය සොයාගෙන තිබෙනවා.

පසුව එම ජීප් රථය වැඩිදුර විමර්ශන සඳහා කිරින්ද පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk