2026-09-14 13:23:00 Hours
දුම්රිය දෙපාර්තමේන්තුව සතුව මේ වනවිට දුම්රිය එන්ජින් 98ක් පැවතියද, ධාවනය සඳහා භාවිත කරනු ලබන්නේ ඉන් එන්ජින් 50ක් පමණක් බව දුම්රිය දෙපාර්තමේන්තු වාර්තාවකින් අනාවරණ වී තිබෙනවා.
එම වාර්තාවට අනුව, දුම්රිය සේවාව සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය දුම්රිය එන්ජින් සංඛ්‍යාව 74ක්.
කෙසේ වෙතත්, මේ වනවිට ධාවනයට එක්කර ඇත්තේ එම අවශ්‍යතාවයෙන් එන්ජින් 24ක් අඩුවෙන් බවයි වාර්තා වන්නේ.
2024 වසරේදී දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ධාවනය කළ හැකි දුම්රිය එන්ජින් 53ක් පැවති බවද අදාළ වාර්තාවේ සඳහන්.
මේ අතර, වැඩි වශයෙන් කාර්යාල දුම්රිය සඳහා යොදාගන්නා බලවේග කට්ටල 242ක් දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචිතයේ පැවතියද, මේ වනවිට ධාවනයට එක්කර ඇත්තේ ඉන් 118ක් පමණයි.
දුම්රිය සේවාව සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය බලවේග කට්ටල සංඛ්‍යාව 193ක් බවද එම වාර්තාවේ දැක්වෙනවා.
2024 වසරේදී දුම්රිය සංචිතයේ බලවේග කට්ටල 258ක් පැවති අතර, එම වසරේ ධාවනය සඳහා යොදාගෙන තිබූ බලවේග කට්ටල සංඛ්‍යාව 148ක්.
මේ අතර, දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටලවල පවතින හිඟය හේතුවෙන් දෛනිකව දුම්රිය ගමන්වාර රැසක් අවලංගු වන බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා.
එමෙන්ම දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටලවල පවතින තාක්ෂණික දෝෂ හේතුවෙන් දුම්රිය ප්‍රමාදවීම්ද ඉහළ ගොස් ඇති බවයි වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ.
දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින මෙම තත්ත්වය සම්බන්ධයෙන් වෘත්තීය සමිති ගණනාවක් අවස්ථා කිහිපයකදී දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා දැනුවත් කර ඇති බවද සඳහන්.
කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාරයක් ලැබී නොමැති බවටයි වෘත්තීය සමිති චෝදනා කරන්නේ.
මෙම ගැටලු විසඳීමට පියවර නොගැනීම සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ නිහඬ ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් දුම්රිය වෘත්තීය සමිති 27ක් ලබන 17 වැනිදා වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
එම වැඩ වර්ජනය සඳහා තම සංගමයද සහය පළ කරන බව ශ්‍රී ලංකා අනාරක්ෂිත දුම්රිය ගේට්ටු ක්‍රියාකරු සාමාජිකත්ව එකමුතුව පවසනවා.
එහි ලේකම් අනිල් කුමාර නවරත්න මහතා සඳහන් කළේ, තම සාමාජිකයින් මුහුණදී ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස අවස්ථා කිහිපයකදී ඉල්ලීම් කළද, මේ දක්වා එම අවස්ථාව ලබාදී නොමැති බවයි.
ඒ අනුව ලබන 17 වැනිදා ආරම්භ කිරීමට නියමිත වැඩ වර්ජනයට තම සංගමයද එක්වන බව ඔහු සඳහන් කළා.
මේ අතර, 17 වැනිදා වැඩ වර්ජනයට එක්වන වෘත්තීය සමිති නියෝජිතයින් සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා අතර විශේෂ සාකච්ඡාවක් අද (14) පැවැත්වීමට නියමිතයි.
එම සාකච්ඡාව අද පස්වරු 3.30ට ප්‍රවාහන අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk