2026-08-28 09:16:00 Hours

සූරිච් ඩයමන්ඩ් ලීග් අදියරෙත් ජය රුමේෂ් තරංගට


...

ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ ස්විට්සර්ලන්තයේ පැවති සූරිච් අදියරේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග අද (28) අලුයම සමත්ව තිබෙනවා.

එහිදී ඔහු මීටර් 92.07ක දුරක් වාර්තා කරමින් පළමු ස්ථානය දිනාගෙන ඇති අතර, මෙය ඔහු සිය ක්‍රීඩා දිවියේ මීටර් 92 සීමාව ඉක්මවා ගිය දෙවන අවස්ථාව ලෙස සැලකෙනවා.

මෙම වසරේ ජුනි මාසයේ පැවති රෝම ඩයමන්ඩ් ලීග් අදියරේදී මීටර් 92.62ක දුරක් වාර්තා කරමින් නව ශ්‍රී ලංකා ජාතික වාර්තාවක් පිහිටුවීමටද රුමේෂ් සමත්වුණා.

සූරිච් අදියරේ දෙවන ස්ථානය මීටර් 86.93ක දුරක් වාර්තා කළ ග්‍රෙනාඩා හි ඇන්ඩර්සන් පීටර්ස්ට හිමි වූ අතර, පෝලන්තයේ ඩේවිඩ් වෙග්නර් මීටර් 85.16ක දුරක් වාර්තා කරමින් තෙවන ස්ථානයට පත්වුණා.

2012 ලන්ඩන් ඔලිම්පික් ශූර ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ හි කෙෂෝන් වෝල්කොට් සිව්වන ස්ථානයටත්, කෙන්යාවේ ජූලියස් යෙගෝ පස්වන ස්ථානයටත් පත්ව තිබෙනවා.

මේ අතර, වත්මන් ලෝක හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ පසුවන රුමේෂ් තරංග, මෙම වසරේ සහභාගී වූ තරග 12න් තරග 11කම ජයග්‍රහණය කර තිබීම විශේෂත්වයකි.

එම ජයග්‍රහණ අතර රෝම, ඔස්ට්‍රාවා සහ දෝහා ඩයමන්ඩ් ලීග් අදියරවල ජයග්‍රහණද ඇතුළත් වනවා.

මෑතකදී නිමාවට පත් වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදීද මීටර් 89.75ක දුරක් වාර්තා කරමින් රන් පදක්කම දිනාගැනීමට රුමේෂ් සමත්වුණා.

කෙසේ වෙතත් මෙවර සූරිච් අදියර සඳහා ඉන්දියාවේ නීරාජ් චොප්රා සහභාගී වී නැහැ.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk