2026-08-06 08:49:00 Hours
ශ්‍රී ලංකාවේ වලංගු බලපත්‍රයකින් තොරව ක්‍රියාත්මක වූ ඔන්ලයින් සූදු සහ ඔට්ටු ඇල්ලීමේ වෙබ් අඩවි 24කට මෙරට තුළ සිට ප්‍රවේශ වීම වහාම ක්‍රියාත්මක වන පරිදි අවහිර කර තිබෙනවා.
මුදල්, සැලසුම් හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කළේ, 2025 අංක 17 දරන සූදු නියාමන අධිකාරි පනත යටතේ ක්‍රියාත්මක වන සූදු නියාමන අධිකාරිය විසින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) වෙත කළ දැනුම්දීමකට අනුව මෙම පියවර ගෙන ඇති බවයි.
ඒ අනුව, සියලුම විදුලි සංදේශ සේවා සපයන්නන්ට අදාළ වෙබ් අඩවි වෙත ශ්‍රී ලංකාව තුළ සිට ප්‍රවේශය අවහිර කරන ලෙස TRCSL උපදෙස් ලබාදී තිබෙනවා.
සූදු නියාමන අධිකාරිය පෙන්වා දෙන්නේ, පනතේ 15, 16 සහ 18 වගන්ති යටතේ නිකුත් කරන ලද වලංගු බලපත්‍රයක් නොමැතිව ඔන්ලයින් සූදු සේවා ක්‍රියාත්මක කිරීම හෝ ඒවා ප්‍රවර්ධනය කිරීම 44 වැනි වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.
අවහිර කළ වෙබ් අඩවි අතර 1xBet, Betway, 22Bet, Melbet, Unibet, Betfair, Dafabet, Bet365, 1Win, Spinbetter, 10Cric, BC.Game, Megapari, Pin-Up, Stake, Mostbet, Parimatch, Betwinner, Linebet, 4Rabet, Rajabets, DBBet, Coldbet සහ WinWin ඇතුළත් වනවා.
මේ අතර, නීතිවිරෝධී ඔන්ලයින් සූදු සහ ඔට්ටු ඇල්ලීමේ ක්‍රියාකාරකම්වලට සහභාගි නොවන ලෙසත්, එවැනි වෙබ් අඩවි හරහා මුදල් ආයෝජනය කිරීමෙන් වළකින ලෙසත් අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එමෙන්ම, නීතිවිරෝධී ඔන්ලයින් සූදු ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම, නියාමනය තවදුරටත් ශක්තිමත් කිරීම සහ මහජනතාවගේ මූල්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අදාළ ආයතන සමඟ එක්ව ඉදිරියටත් දැඩි පියවර ගන්නා බව ද අමාත්‍යාංශය සඳහන් කළා.
කෙසේ වෙතත්, මෙසේ අවහිර කළ වෙබ් අඩවි අතරට ඇතුළත් 1xBet සමාගම මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ ප්‍රධාන හවුල්කරුවකු ලෙස කටයුතු කිරීම විශේෂත්වයක්.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk