2026-08-02 08:45:00 Hours
මහර බන්ධනාගාරයේ ඊයේ (01) හටගත් නොසන්සුන්තාව මේ වන විට පාලනය කර ඇති බව වාර්තා වනවා.
රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් අතර ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් මෙම නොසන්සුන්තාව හටගෙන ඇති අතර, එහිදී තුවාල ලැබූ රැඳවියන් 7 දෙනෙකු රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඉන් එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
තත්ත්වය පාලනය කිරීම සඳහා විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව සහ පොලීසිය යෙදවූ අතර, ගුවන් හමුදාව බෙල් 412 හෙලිකොප්ටරයක් සහ ඩ්‍රෝන යානයක් මගින් බන්ධනාගාර පරිශ්‍රය නිරීක්ෂණය කිරීමට ද පියවර ගෙන තිබුණා.
නොසන්සුන්තාව අතරතුර රැඳවියන් විසින් බන්ධනාගාර ප්‍රධාන ජේලර්වරයාගේ කාර්යාලයට සහ විනය අංශයට ගිනි තබා ඇති බව ද වාර්තා වනවා.
මේ අතර රැඳවියන් බැලීමට පැමිණි ඥාතීන්ට බන්ධනාගාරයට ඇතුළුවීමට අවසර නොලැබීමත් සමඟ බන්ධනාගාරය ඉදිරිපිට නොසන්සුන් තත්ත්වයක් ද හටගෙන තිබුණා.
බන්ධනාගාරය තුළින් වෙඩි හඬට සමාන ශබ්ද කිහිපයක් ඇසීමත් සමඟ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් පොලිස් මුර බාධක බිඳගෙන ඇතුළු වීමට උත්සාහ කර ඇති අතර, එහිදී ආරක්ෂක අංශ තත්ත්වය පාලනය කිරීමට පියවර ගත් බවයි වාර්තා වන්නේ. එම අවස්ථාවේදී ආරක්ෂක අංශ වෙත ගල් ප්‍රහාර ද එල්ල වී තිබෙනවා.
පවතින තත්ත්වය හේතුවෙන් මහර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයකට නැවත දැනුම්දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති අතර, එය සාමය සහ මහජන ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළා.
මේ අතර ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා සහ නව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා ද ඊයේ රාත්‍රියේ මහර බන්ධනාගාරයට පැමිණ තත්ත්වය නිරීක්ෂණය කරනු ලැබුවා.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසුවේ, තුවාල ලැබූවන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙමින් සිටින බවත්, අදාළ අංශ සමඟ සාකච්ඡා කර බන්ධනාගාරයේ ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇති බවත්ය.
එමෙන්ම බන්ධනාගාරය තුළ ඇති වූ ගින්න ද මේ වන විට පාලනය කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk