2026-07-22 20:58:00 Hours
ප්‍රමාණවත් මූල්‍ය අනුග්‍රහය සහ ක්‍රීඩා යටිතල පහසුකම් නොමැතිකම හේතුවෙන් තම ක්‍රීඩා දිවිය දැඩි අභියෝගවලට මුහුණ දුන් බව ශ්‍රී ලංකාවේ වේගවත්ම ධාවකයා ලෙස සැලකෙන යුපුන් අබේකෝන් මහතා පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, තමන් මලල ක්‍රීඩාවෙන් ඉවත් වීමට තීරණය කළේ දක්ෂතාවයේ අඩුවක් නිසා නොව, දිගුකාලීනව පැවති කලකිරීම හේතුවෙන් බවයි.
2022 වසරේදී තත්පර 9.96ක කාලයක් වාර්තා කරමින් මීටර් 100 ඉසව්ව තත්පර 10ට අඩු කාලයකින් නිම කළ ප්‍රථම ශ්‍රී ලාංකිකයා බවට පත්වූ යුපුන්, එම වසරේ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 100 ඉසව්වේ රන් පදක්කමද දිනා ගත්තා.
එමෙන්ම, 2020 ටෝකියෝ සහ 2024 පැරිස් ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමටද ඔහු සමත් වුණා.
තමන්ට තවදුරටත් ජාත්‍යන්තර මට්ටමේ වසර දෙක තුනක් ක්‍රීඩා කිරීමේ හැකියාව තිබූ බවත්, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තවත් ඔලිම්පික් උළෙලකට පවා සුදුසුකම් ලැබීමේ අවස්ථාවක් තිබූ බවත් යුපුන් සඳහන් කළා.
කෙසේ වෙතත්, වසර ගණනාවක් පුරා අවශ්‍ය සහයෝගය ලබා ගැනීමට උත්සාහ කළද එය ඉටු නොවීම හේතුවෙන් ක්‍රීඩාව පිළිබඳ තමන්ගේ උනන්දුව සහ පෙළඹවීම ක්‍රමයෙන් අඩුවූ බවද ඔහු ප්‍රකාශ කළා.
යුපුන් අබේකෝන් වැඩිදුරටත් පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාවේ ක්‍රීඩා යටිතල පහසුකම් තවදුරටත් ශක්තිමත් කළ යුතු බවයි.
සුගතදාස ක්‍රීඩාංගණයේ පවතින තත්ත්වයද ඊට හොඳම උදාහරණයක් බවද ඔහු සඳහන් කළා.
එමෙන්ම, පසුගිය වසර තුළ වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා හමුවීමට කිහිප වතාවක් උත්සාහ කළද, ඒ සඳහා අවස්ථාවක් නොලැබුණු බවද යුපුන් අබේකෝන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළා.
“මම සමුගන්නේ දැඩි කලකිරීමෙන්. මට තව අවුරුදු දෙකක්, තුනක් ක්‍රීඩා කරන්න පුළුවන්කම තියෙනවා. මට තවදුරටත් ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග කරලා ඊළඟ ඔලිම්පික් එකට වුණත් සුදුසුකම් ලබන්න තිබුණා. නමුත් සිද්ධ වෙච්ච දේවල් එක්ක මට හිතෙනවා නතර වෙන්න හොඳම වෙලාව මේක කියලා.
මම අවුරුද්දක්, අවුරුදු දෙකක්, අවුරුදු තුනක් බලන් හිටියා තත්ත්වය යහපත් වෙයි කියලා. අවශ්‍ය සහයෝගය හම්බෙයිද කියලා අපි අපෙන්ම අහනවා. නමුත් ගන්න මහන්සියෙන් කිසිම ප්‍රතිඵලයක් නොදකිනකොට, ප්‍රැක්ටිස් වලදී තවත් මහන්සි වෙන්න තියෙන උනන්දුව නැති වෙලා යනවා.
මම මේ ක්‍රීඩාවට ආදරෙයි, ඒ වෙනුවෙන් යමක් කරන්නත් කැමතියි. නමුත් දැනට තියෙන තත්ත්වය යටතේ මට හිතෙන්නේ නෑ මට ඒක කරන්න පුළුවන් වෙයි කියලා. තව හුඟක් දේවල් හැදෙන්න තියෙනවා.
සුගතදාස ක්‍රීඩාංගණය දිහා බැලුවාම ඕනම කෙනෙකුට තත්ත්වය තේරෙනවා. නිසි පහසුකම් නැතුව මම ආයෙත් ආවත්, එහෙමත් නැත්නම් ලෝකයේ ඉන්න හොඳම කෝච් ආවත් අපිට ලොකු දේවල් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ.
පසුගිය අවුරුද්ද පුරාම මම ඔහු සම්බන්ධ කරගන්න උත්සාහ කළා. නමුත් ෆෝන් එකෙන්වත් කතා කරගන්න බැරිවුණා. මම අවසාන පාරට ලංකාවට ආපු වෙලාවෙත් අමාත්‍යවරයාව හම්බවෙන්න උත්සාහ කළා, නමුත් මට ඒකට අවස්ථාවක් ලැබුණේ නැහැ.”
මේ අතර ප්‍රමාණවත් මූල්‍ය අනුග්‍රහය සහ ක්‍රීඩා යටිතල පහසුකම් නොමැතිකම හේතුවෙන් තම ක්‍රීඩා දිවිය කලකිරීමෙන් අවසන් කිරීමට සිදුවූ බවට ශ්‍රී ලංකාවේ වේගවත්ම ධාවකයා වන යුපුන් අබේකෝන් කළ ප්‍රකාශයට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පිළිතුරු ලබාදී තිබෙනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, යුපුන් අබේකෝන් දක්ෂතා රැසක් දැක්වූ ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙනදුන් ක්‍රීඩකයෙකු වුවද, ඔහු ඉල්ලා සිටින මුදල ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශයට හැකියාවක් නොමැති බවයි.
අමාත්‍යවරයාට අනුව, හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ඇමරිකානු ඩොලර් ලක්ෂ තුනක් ලබාදෙන බවට යුපුන්ට වාචික පොරොන්දුවක් ලබාදී ඇති අතර, යුපුන් මේ වනවිට එම මුදල රජයෙන් ඉල්ලා සිටිනවා.
කෙසේ වෙතත්, එවැනි වාචික පොරොන්දුවක් පදනම් කරගෙන රාජ්‍ය මුදල් ගෙවීමට නොහැකි බව අමාත්‍යවරයා අවධාරණය කළා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රීඩකයන්ට මූල්‍ය ප්‍රතිලාභ ලබාදෙන්නේ 'Mission Olympic' වැඩසටහන යටතේ ක්‍රීඩකයාගේ වර්තමාන දක්ෂතා, ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම සහ කාර්යසාධනය සැලකිල්ලට ගනිමින් බවයි.
"යුපුන් කියන්නෙ දක්ෂ ක්‍රීඩකයෙක්. ලංකාවට කීර්ති නාමයක් ගෙනාපු, පදක්කම් ගෙනාපු ක්‍රීඩකයෙක්. නමුත් යුපුන් දැනට ජීවත් වෙන්නෙ ඉතාලියේ. අපි යුපුන් එක්ක සාකච්ඡා කළා. දිගටම යුපුන් එක්ක කතා කළා. යුපුන් අමාත්‍යංශයට ආවා. මීට මාස කීපයකට කලින් යුපුන් පාර්ලිමේන්තුවටත් ඇවිල්ලා අපි සාකච්ඡා කළා.
නමුත් යුපුන්ගෙ ඉල්ලීම ටිකක් වෙනස්. ඉතින් ඒක අපිට අමාරුයි යුපුන්ට දෙන්න. යුපුන්ට හරීන් ඇමතිතුමා පොරොන්දු වෙලා තියෙනවා කියනවා ඇමරිකන් ඩොලර් ලක්ෂ තුනක් එයාට දෙන්න. ඉතින් එයා ඒ හරීන් ඇමතිතුමා වාචිකව පොරොන්දු වෙච්ච ඩොලර් ලක්ෂ තුන අපෙන් ඉල්ලනවා. ඉතින් අපිට එහෙම සල්ලි දෙන්න බැහැ.
අපි පෆෝමන්ස් බේස් කරලා තමයි අපි ක්‍රීඩකයොන්ට ගෙවන්නෙ. මිෂන් ඔලිම්පික් කියලා අපේ ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒවයේ අපි දෙන ගණන් තියෙනවා. ඉතින් ඊට එහා ගෙවීමක් කරන්න අපිට යුපුන්ට අමාරුයි. විශේෂයෙන්ම අපි ක්‍රීඩා අමාත්‍යංශය මේ වගේ ක්‍රීඩකයෝ පිළිබඳ ගෙවීම් කරනවා නම් ඒවා දක්ෂතාවය වර්තමානයේ ඒගොල්ලගේ එයාලා ඉන්න පොසිෂන් එක අනුව තමයි අපිට ගෙවීම් කරන්න වෙන්නේ.
එහෙම නැතුව කවුරු හරි කලින් ආණ්ඩුවක ඇමතිවරයෙක් වාචිකව කිව්ව ගෙවීමක් අපිට කරන්න අමාරුයි. ඉතින් අපි කැමතියි එයා අපේ අනිත් අය වගේම ඇවිල්ලා ක්‍රීඩා කරනවා නම් අපිට ඒ පහසුකම් දෙන්න පුළුවන් නමුත් යුපුන්ගෙ ඒ ඉල්ලීම අපිට කරන්න අමාරුයි"
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk