2026-09-07 16:54:00 Hours
කොළඹ 07, බාන්ස් පෙදෙසේ ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීමට අවශ්‍ය බැවින්, ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතා ඇතුළු සිව්දෙනෙකුට විදෙස් ගමන් තහනම් නියෝග නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (07) අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
ඒ අනුව ශාන්ත විතාන ගමගේ, ඩෙස්මන්ඩ් අමරසිංහ, සමන් ජයවීර සහ ඩිලන්ත මාලගමුව යන අයට විදෙස් ගමන් තහනමක් පනවන ලෙසයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා හමුවේ ඉල්ලා ඇත්තේ.
අදාළ පුද්ගලයින් ව්‍යාජ ඔප්පු සකස් කිරීමේ සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධ වී ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහා තවදුරටත් විමර්ශන සිදුකරන බවද CIDය අධිකරණයට දැනුම්දී තිබෙනවා.
ඔවුන් විදෙස්ගත වුවහොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි බැවින් විදෙස් ගමන් තහනමක් පනවන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා ඇති බව සඳහන්.
එමෙන්ම අදාළ ඉඩම අලෙවි කර මුදල් බෙදාගෙන ඇති බව කියන පුද්ගලයින් සම්බන්ධයෙන්ද තවදුරටත් විමර්ශන සිදුකරන බව CIDය අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.
ඩිලන්ත මාලගමුව මහතාට මුදල් වෙනුවට සුඛෝපභෝගී වාහන 14ක් ලබාදී ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
කොළඹ 07, බාන්ස් පෙදෙසේ පර්චස් 43ක ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර රුපියල් බිලියනයකට අලෙවි කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පන්නිපිටියේ ආරියපාල දිසානායක නමැති 80 හැවිරිදි සැකකරුට අදාළ පැමිණිල්ලට විශේෂ මෝසමක් ගොනු කරමින් CIDය මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබෙනවා.
කෙසේ වෙතත්, කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා, අදාළ පුද්ගලයින්ට විදෙස් ගමන් තහනමක් පැනවීමට පෙර ඔවුන් පැමිණිල්ලේ සැකකරුවන් ලෙස නම් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
මෙම පැමිණිල්ල ලබන 10 වැනිදා ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවීමට නියමිත බැවින්, එදින අදාළ පුද්ගලයින් සැකකරුවන් ලෙස නම් කර විදෙස් ගමන් තහනම ඉල්ලා අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙසද අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
මේ අතර, දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරු රෝගී තත්ත්වයකින් පෙළෙන බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, ඔහු සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළා.
කොළඹ බාන්ස් පෙදෙසේ අංක 18 දරන ස්ථානයේ පිහිටි පර්චස් 43ක ඉඩමක් ප්‍රසිද්ධ වාහන අලෙවි සමාගමක් විසින් මිලදී ගැනීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදුකෙරෙන බව සඳහන්.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk