2026-09-07 19:40 Hours

22ට එරෙහි පෙත්සමක් විභාග නොකිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක්


...

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් තමන් විසින් ගොනු කළ පෙත්සමක් විභාගයට නොගැනීම හේතුවෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු දුලාර ගුණතිලක සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක විසින් මෙම පෙත්සම ගොනු කර ඇති බව සඳහන්.

පෙත්සම්කරුවන් පවසන්නේ 22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් දුලාර ගුණතිලක මහතා මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබූ බවයි.

කෙසේ වෙතත්, එම පෙත්සම විභාගය සඳහා විවෘත අධිකරණයේ කැඳවා නොතිබූ බවද පෙත්සම්කරුවන් පෙන්වා දී තිබෙනවා.

ඒ හේතුවෙන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

එමෙන්ම මෙම නව පෙත්සම විභාග කර අවසන් තීන්දුවක් ලබාදෙන තුරු, 22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන නිගමනය කථානායකවරයා වෙත දැනුම්දීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk