2026-08-26 09:04:00 Hours

අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ සිදුවීම ගැන විමර්ශනයක්


...

අම්බලන්ගොඩ පොලිස් ස්ථානය තුළ සිදුවූ බව කියන සිදුවීමකට අදාළව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝව සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ, අම්බලන්ගොඩ පොලිස් ස්ථානය අයත් ඇල්පිටිය පොලිස් කොට්ඨාසයෙන් පරිභාහිරව රාජකාරි කරන උසස් පොලිස් නිලධාරියෙකුගේ ප්‍රධානත්වයෙන් එම විමර්ශනය සිදුකරන බවයි.

තම පියාට පොලිස් නිලධාරීන් පහරදී ඇති බව පවසමින් පුද්ගලයෙකු අම්බලන්ගොඩ පොලිස් ස්ථානය තුළ කලහකාරී ලෙස හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා.

පොලීසිය පැවසුවේ, එම වීඩියෝවේ පියා ලෙස හඳුන්වන වියපත් පුද්ගලයා ඊයේ (24) රාත්‍රියේ බීමත්ව අශෝභන ලෙස මාර්ගයක සැරිසැරීම හේතුවෙන් අම්බලන්ගොඩ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙනවිත් ඇති බවයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු පොලීසියෙන් පලා යාමට උත්සාහ කර ඇති අතර, එහිදී ඇදවැටීමෙන් සිදුවූ බවට සැලකෙන රුධිර වහනයක සලකුණුද වීඩියෝවේ දක්නට ලැබෙන බවද පොලීසිය සඳහන් කළා.

කෙසේ වෙතත්, අදාළ පුද්ගලයා අද (25) අම්බලන්ගොඩ පොලිස් නිලධාරීන් විසින් බලපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුරුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් ඔහුව පරීක්ෂා කර ඇති අතර, පසුව බලපිටිය අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර ඇත.

එහිදී අදාළ පුද්ගලයා ඇප මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk