2026-08-26 09:25 Hours
ශුද්ධ වූ මුහම්මද් නබි නායකතුමන්ගේ ගුණ සිහිකරමින් අල්-මිලාද් උන්-නබි ජන්ම දින උත්සවය අද (26) දිනයේදී දෙස් විදෙස් ඉස්ලාම් බැතිමතුන් විසින් මහත් භක්තියෙන් සමරනු ලබනවා.
සාමය, සහෝදරත්වය සහ සමානාත්මතාවය පදනම් කරගත් ඉස්ලාම් දහම ලොවට දේශනා කළ මුහම්මද් නබිතුමන් ක්‍රිස්තු වර්ෂ 570දී අරාබියේ මක්කම නගරයේ උපත ලබා තිබෙනවා.
ඉස්ලාම් බැතිමතුන්ගේ විශ්වාසය අනුව, කුඩා කල සිටම යහපත් දිවි පෙවෙතක් ගත කරමින් සියලුදෙනාගේ ගෞරවයට පාත්‍ර වූ නබිතුමන් වයස අවුරුදු 40දී අල්ලාහ් දෙවියන් විසින් නබිතුමන් ලෙස තෝරාගෙන ඇත.
දේශනාවෙන්, ක්‍රියාවෙන් සහ පරිත්‍යාගයෙන් ඉස්ලාම් දහමේ උසස් හර පද්ධතිය ලොවට පෙන්වා දුන් මුහම්මද් නබිතුමන් මානවත්වය, සහෝදරත්වය සහ මානව ප්‍රේමය වෙනුවෙන් කැපවූ සුවිශේෂී ආගමික නායකයෙකු ලෙස සැලකෙනවා.
අල්-මිලාද් උන්-නබි ජන්ම දිනය නිමිත්තෙන් දිවයින පුරා පිහිටි මුස්ලිම් පල්ලි සහ ඉස්ලාමීය ආගමික ස්ථානවල විශේෂ ආගමික වැඩසටහන්, අල්-කුර්ආන් පාරායනා සහ පුණ්‍ය කටයුතු රැසක් සංවිධානය කර ඇති බව වාර්තා වනවා.
අදට යෙදී ඇති මිලාද් උන් නබි උත්සවය වෙනුවෙන් ශ්‍රී ලාංකික මෙන්ම ලෝකවාසී සමස්ත ඉස්ලාම් බැතිමතුන් වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා.
ජනාධිපතිවරයා පවසන්නේ බිඳුණු සිත් සුවපත් කරමින්, වෛරය වෙනුවට ප්‍රේමයත්, විරසකය වෙනුවට සහෝදරත්වයත් අගයන නව යුගයක් කරා යන ගමනේදී, නබිතුමන් විසින් පෙන්වා දෙන ලද අසමසම පරිත්‍යාගයේ සහ මනුෂ්‍යත්වයේ ආලෝකය ඒ මඟ බබළවන බව තම විශ්වාසය බවයි.
"ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයේ 'රබී අල්-අව්වල්' මස උදාවෙත්ම, ලෝකවාසී ඉස්ලාමීය බැතිමතුන් පරිත්‍යාගය පෙරටු කර මහත් භක්ත්‍යාදරයෙන් සමරන ශුද්ධ වූ මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දින සැමරුම හෙවත් මිලාද්-උන්-නබි සැමරුම අදට (26) යෙදී තිබේ.
සමානාත්මතා සමාජයක් නිර්මාණය කිරීම පරමාර්ථ කරගත් මෙය, හුදු උත්සවයකට එහා ගිය ගැඹුරු ආධ්‍යාත්මික හැඩගැස්මක් අපේක්ෂා කෙරෙන සැමරුමකි.
අන්ධකාරයෙන් ආලෝකය වෙත කැඳවාගෙන යනු පිණිස, අසීමිත ඉවසීමේ සහ දයානුකම්පාවේ මාවත හෙළිපෙහෙළි කළ මුහම්මද් නබිතුමා, මනුෂ්‍ය වර්ගයා වෙත එදාමෙදාතුර පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරයෙකි.
වසර 23ක් පුරා උන්වහන්සේ අභිමුඛ වූ අනේකවිධ කම්කටොලු සහ සිදු කළ අසමසම පරිත්‍යාගවල පරමාර්ථය වූයේ සාමය, සහෝදරත්වය, පාරිශුද්ධභාවය, විශ්වාසනීයත්වය සහ යුක්තිය රජයන යහපත් සමාජයක් ගොඩනැගීමයි.
ජාතිය, කුලය, වර්ණය හෝ වංශවත් බව මත මිනිසා මැනීම ප්‍රතික්ෂේප කළ උන්වහන්සේ, සමස්ත මානව සංහතියම එකම මූලයකින් පැවත එන බවත්, ශ්‍රේෂ්ඨත්වය මැනිය හැක්කේ සත්‍යවාදී බව, උපේක්ෂාව සහ කරුණාව වැනි උතුම් සාරධර්මවලින් පමණක් බවත් පසක් කළහ.
සමාජයේ ඇති-නැති පරතරය දුරලමින්, පීඩිතයාටත් නිසි අයිතිවාසිකම් දිනා දෙමින් උන්වහන්සේ ගොඩනැගුවේ සමාජ සාධාරණත්වයේ සහ සමානාත්මතාවේ හර පදනමයි.
නීතියේ ආධිපත්‍යය රජයන, යුක්තිගරුක සහ සියලුදෙනාට සමානව සලකන රටක් සහ සහජීවන සමාජයක් බිහි කරලීමේ අපගේ අපේක්ෂාව යථාවක් කර ගැනීමට අවැසි මගපෙන්වීම නබිතුමන්ගේ දර්ශනයෙන් නොමඳව සැපයේ.
මනුෂ්‍යයාගේ අභ්‍යන්තර පාරිශුද්ධත්වය මෙන්ම සමාජයේ ආචාරධාර්මිකභාවය කිළිටි කරන සියලු විෂයන් ඉස්ලාම් දහම විසින් බැහැර කරනු ලබයි.
එබැවින්, අප මාතෘභුමිය මත පිළිලයක්ව වැඩෙන විෂ මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව රජය විසින් දියත් කරන ලද ජාතික මෙහෙයුම වැනි සමාජයීය ආචාරධාර්මිකභාවය ඉහළට ඔසවා තැබීම වෙනුවෙන් වූ වැඩපිළිවෙළවලට නබිතුමන්ගේ දහම සහ ජීවනාදර්ශය මගින් සැපයෙන්නේ මහඟු සවියකි.
බිඳුණු සිත් සුවපත් කරමින්, වෛරය වෙනුවට ප්‍රේමයත්, විරසකය වෙනුවට සහෝදරත්වයත් අගයන නව යුගයක් කරා යන ගමනේදී, නබිතුමන් විසින් පෙන්වා දෙන ලද අසමසම පරිත්‍යාගයේ සහ මනුෂ්‍යත්වයේ ආලෝකය එ’මග බබළවන බව මාගේ දැඩි විශ්වාසයයි.
ශුද්ධ වූ නබි නායකතුමන්ගේ ජීවනාදර්ශය, කැපවීම සහ සද්-පරිශ්‍රමය සැබෑ ලෙස අරුත් ගන්වමින් ජීවන ගමන හැඩගන්වා ගැනීමට ඔබ සැමට ආරාධනා කරමි.
ශ්‍රී ලාංකික මෙන්ම ලෝකවාසී සමස්ත ඉස්ලාම් බැතිමතුන්ට අර්ථවත් මිලාද්-උන්-නබි උත්සවයක් වේවා!"
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk