2026-09-29 16:02:00 Hours

ඉන්ධන මිල ඉහළ යාම හමුවේ තවත් රුපියල් බිලියන 41ක සහනාධාරයක්


...

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම හමුවේ ඉදිරි මාස තුන සඳහා රජය විසින් තවත් රුපියල් බිලියන 41ක ඉන්ධන සහනාධාරයක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

අද (29) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළා.

ඉන්ධන මිල ගණනය කිරීමේදී දැනටත් සැලකිය යුතු ප්‍රමාණයක් රජය විසින් සහනාධාර ලෙස දරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ඒ අනුව, ඉදිරි මාස තුන සඳහා ඉන්ධන මිල ඉහළ යාමේ බලපෑම අවම කිරීම වෙනුවෙන් භාණ්ඩාගාරයෙන් මෙම අතිරේක සහනාධාර මුදල ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

"ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමත් සමග තමයි මෙම තීන්දුව ගත්තේ. තවත් බිලියන 41ක් මේ වෙනුවෙන් ලබා දිය යුතුයි කියලා භාණ්ඩාගාරයෙන්.

මේ මොහොතෙදි ලබා දිය හැකි සහනය තමයි භාණ්ඩාගාරයෙන් ලබා දීලා තියෙන්නේ. මාසේ අන්තිමට එක් එක් ඉන්ධන මිල සඳහා ගණනය කළාම එයින් රජය මගින් දරාගන්න කොටස ලබා දෙනවා.

ඊට අමතරව තව කොහොමද කළමනාකරණය කරන්නේ කොහොමද කියලා ඒ අනුව තමයි තීන්දු කරන්නේ. නමුත් මේ සහනය මාස තුන සඳහා ලබා දෙනවා. භාණ්ඩාගාරය වෙන් කරලා තියන විදිහට පෙට්‍රල්වලට ලබා දෙන්නේ නෑ ඩීසල්වලට විතරයි ලබා දෙන්නේ.

රටේ ජනතාව මත එලෙස බර පටවන්නේ නැතිව උපරිම රජය වැඩි කොටසක් දරාගෙන ඒක කළමනාකරණය කරගන්න උත්සාහ ගන්නේ. තෙල් මිල වැඩිවුණාම ඒ මත පදනම් වෙලා භාණ්ඩ හා සේවා මිල ඉහළ යනවා.

සමහරවිට තෙල් මිලේ අඩුවීමක් අපි මාසේ අන්තිමට හරි මාසය මැද කළත් අර ඉහළ ගිය භාණ්ඩ හා සේවා මිල එලෙසම අඩු වෙන්නේ නැති තත්ත්වයකුත් තියෙනවා. මේ සියල්ල ගැන හිතලා භාණ්ඩාගාරයේ තිබෙන කොටසක් තමයි වෙන් කරන්නේ.

තෙල් ආනයනයේ ප්‍රශ්නයක් නෑ. තෙල් සංස්ථාවත් විවිධ සමාගමුත් තෙල් ගෙනත් තියෙනවා තෙල් පෝලීම් ඇතිවීමේ කිසිදු අවශ්‍යතාවක් නෑ තෙල් මිල වැඩිවෙන නිසානේ සහනය ලබා දෙන්නේ. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල වැඩි වුණේ නැත්නම් සහනයක් දෙන්න අවශ්‍යතාවක් නෑ. ලෝක වෙළෙඳපොලේ තෙල් මිල වැඩිවීමත් එක්ක පහුගිය කාලේදි ඒ අනුව ගණනය කළාම තෙල් මිල වැඩි කළ යුතුයි. ඒ වෙනුවෙන් ලබා දෙන සහනයක් තමයි මේ ලබා දීලා තියෙන්නේ.

එතැනින් එහාට කොහොමද මේක කරන්නේ කියලා තෙල් සංස්ථාව ගණනය කරලා ඒක කියයි. මේ මාස 6 සඳහා තෙල්වලට විතරක් බිලියන 100කට වැඩි මුදලක් භාණ්ඩාගාරය ලබා දීලා තියෙනවා."



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk