2026-09-21 20:30:00 Hours

සැප්තැම්බර් 22 සහ 23 පාර්ලිමේන්තු කටයුතුවල වෙනසක්


...

සැප්තැම්බර් 22 සහ 23 යන දිනවල පාර්ලිමේන්තු කටයුතුවල වෙනස්කම් කිහිපයක් සිදුකර තිබෙනවා.

ඒ අනුව, සැප්තැම්බර් 22 දිනට නියමිතව තිබූ අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීමේ විවාදය සැප්තැම්බර් 23 දින පැවැත්වීමට තීරණය කර ඇත.

එමෙන්ම, සැප්තැම්බර් 23 දිනට නියමිතව තිබූ ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පනත් කෙටුම්පත ඉදිරිපත් නොකිරීමටද තීරණය කර ඇති බවයි පාර්ලිමේන්තුව සඳහන් කළේ.

මේ අතර, විදුලි බිල්පත් සම්බන්ධයෙන් ජනතාවට සහන ලබාදීම සඳහා රුපියල් මිලියන 17,213ක මූල්‍ය සහනාධාරයක් ලබාදීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව සැප්තැම්බර් 23 දින අනුමත කිරීමට නියමිතයි.

අදාළ පරිපූරක ඇස්තමේන්තුව සැප්තැම්බර් 22 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, එම මුදල් 2026 වසරේ වෙන්කර ඇති නමුත් වසර අවසන් වනවිට උපයෝජනය නොවන බව හඳුනාගෙන ඇති ප්‍රතිපාදනවලින් සපයා ගැනීමට නියමිත බව පාර්ලිමේන්තුව පවසනවා.

කෙසේ වෙතත්, සැප්තැම්බර් 24 සහ 25 යන දිනවලට අදාළ පාර්ලිමේන්තු කටයුතුවල වෙනසක් සිදු නොවන බවයි පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය සඳහන් කර ඇත්තේ.

ඒ අනුව, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත සැප්තැම්බර් 24 සහ 25 යන දෙදින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

මේ අතර, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය කථානායක ජගත් වික්‍රමරත්න මහතා වෙත ලැබී ඇති බවද කථානායක කාර්යාලය සඳහන් කළා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk