2026-09-21 14:21:00 Hours

ගිං සහ කළු ගඟ ආශ්‍රිත සුළු ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කරයි


...

ගිං ගඟ සහ කළු ගඟ ආශ්‍රිතව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ සුළු ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 24කින් දීර්ඝ කර තිබෙනවා.

පවතින වර්ෂාපතන තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඊයේ (20) නිකුත් කළ අනතුරු ඇඟවීම මෙලෙස දීර්ඝ කළ බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව, ගංගා ආශ්‍රිත පහත්බිම්වල වෙසෙන ජනතාව මෙන්ම එම ප්‍රදේශ හරහා ගමන් කරන රියදුරන් ද අවධානයෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මේ අතර තෙත් කලාපයේ දිස්ත්‍රික්ක රැසකට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර, පසුගිය දිනවලට සාපේක්ෂව වැසි අඩුවීමක් දක්නට ලැබුණද තවදුරටත් වැසි ඇදහැලෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ, කැලණි ගඟේ ඉහළ ප්‍රදේශවලට අද උදෑසන වන විට මිලිමීටර් 100ත් 125ත් අතර වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.

අනෙකුත් ගංගා ද්‍රෝණි රැසකට ද පසුගිය පැය 24 තුළ මිලිමීටර් 50ත් 80ත් අතර වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.

පෙරේදා දිනයේ මිලිමීටර් 200 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ගිං සහ නිල්වලා ගංගාවල ඉහළ ප්‍රදේශවල ජල මට්ටම් ඉහළ ගොස් ඇති අතර, බද්දේගම, උඩුගම, අකුරැස්ස සහ තල්ගහගොඩ ප්‍රදේශවල සුළු ගංවතුර අවදානමක් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟේ ජල මට්ටම ද මිල්ලකන්ද ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමට ආසන්නව පවතිනවා.

මේ අතර, කැලණි, මහවැලි සහ අත්තනගලු ඔය ආශ්‍රිත ප්‍රදේශවල ජල මට්ටම් ඇතැම් ස්ථානවල අඩුවෙමින් පැවතියද, තවදුරටත් අවදානම් මට්ටමට ආසන්න බව එල්. එස්. සූරියබණ්ඩාර මහතා පැවසුවා.

එමෙන්ම, මහවැලි ගඟේ ඉහළ ද්‍රෝණියට ලැබුණු වර්ෂාපතනය හේතුවෙන් කොත්මලේ සහ පොල්ගොල්ල ඇතුළු ජලාශවල ජල මට්ටම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ජලයෙන් යටවූ ප්‍රදේශවල ජල ක්‍රීඩා හෝ වෙනත් කටයුතු සඳහා පිවිසීමෙන් වළකින ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk