2026-09-18 07:56:00 Hours

ඉන්ධන මිල වැඩි නොකළොත් පිරවුම්හල් 500ක් වසා දැමීමේ සූදානමක්


...

ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා බලශක්ති අමාත්‍යාංශයට යොමු කළ ලිපියට නිසි ප්‍රතිචාරයක් නොලැබුණහොත් පෞද්ගලික ඉන්ධන සමාගම් තුනකට අයත් ඉන්ධන පිරවුම්හල් 500ක් වසා දැමීමට සූදානම් වන බව වාර්තා වනවා.

අදාළ සමාගම්වල ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා බලශක්ති අමාත්‍යාංශයට ලිපියක් යොමුකර ඇති අතර, ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් පිරවුම්හල් වසා දැමීමට තීරණය කරන බවයි වාර්තා වන්නේ.

මෙම සමාගම්වල සියලුම අලෙවි නියෝජිතයන් ඊයේ (17) කොළඹට රැස්වී සාමූහිකව මෙම තීරණයට එළඹුණු බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.

ගොඩබෑමේ පිරිවැයට අනුකූලව ඉන්ධන මිල සංශෝධනය කරන ලෙස පෞද්ගලික ඉන්ධන බෙදාහැරීමේ සමාගම් ඉල්ලා සිටියද, ඔවුන් ඉල්ලා ඇති මිල වැඩි කිරීම සඳහා එකඟතාව පළ කර නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පසුගියදා ප්‍රකාශ කළා.

මේ අතර, අදාළ සමාගම්වල ඉල්ලීම් සම්බන්ධයෙන් එකඟතාවක් නොමැතිවීම හේතුවෙන් ලංකා අයි.ඕ.සී. සමාගමට අයත් පිරවුම්හල් 275ක, සිනොපෙක් සමාගමට අයත් පිරවුම්හල් 150ක සහ ආර්.එම්. පාර්ක් සමාගමට අයත් පිරවුම්හල් 100ක ඩීසල් බෙදාහැරීම සතියකට වැඩි කාලයක සිට සීමා කර ඇති බව සඳහන්.

එම සමාගම් තුනෙන් ඉන්ධන නිකුත් කිරීම සියයට 50කින් පමණ අඩුවී ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන් පවසනවා.

ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීම හේතුවෙන් පාරිභෝගිකයන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය ද පෙන්වා දෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk