2026-09-19 10:05:00 Hours

මරණ දඬුවමට නියම වූ අනෝජන් වෙනුවෙන් රජය වහා මැදිහත් විය යුතුයි - අලි සබ්‍රි


...

සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන මරණ දඬුවම නියම කර ඇති බව වාර්තාවන ශ්‍රී ලාංකික තරුණයා නිදහස් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය හදිසි රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් සිදුකළ යුතු බව හිටපු විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසනවා.

සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ, අනෝජන් සිවරාජා නමැති මෙම තරුණයාට මුලින් නියම කර තිබූ වසර පහක සිර දඬුවම මරණ දඬුවමක් දක්වා ඉහළ යාම සම්බන්ධයෙන් තමන් දැඩි කනගාටුවට සහ කනස්සල්ලට පත්ව සිටින බවයි.

"සෞදි අරාබියේ සේවයේ නිරතව සිටි අනෝජන් සිවරාසා නමැති ශ්‍රී ලාංකික තරුණයාට පනවා තිබූ වසර 5ක සිරදඬුවම, මරණ දඬුවම දක්වා ඉහළ නංවා ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ජනතාව අතර දැඩි කම්පනයක් සහ කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

සෞදි අරාබියේ නීති පද්ධතියට ගෞරව කරන අතර, සිදුව ඇතැයි කියන වරදට මෙවැනි දැඩි දඬුවමක් නියම කිරීම හමුවේ නිහඬව සිටිය නොහැකි බවට සමාජයේ කතිකාවතක් ගොඩනැගී තිබෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ සිත රිදවනසුලු ප්‍රකාශයක් වෙනුවෙන් වසර පහක සිරදඬුවමක් නියම කිරීම පවා දැඩි තීරණයක් වී ඇති පසුබිමක, එකී ක්‍රියාව වෙනුවෙන් මිනිස් ජීවිතයක් නැති කිරීම මානුෂීය විරෝධී මෙන්ම කිසිසේත්ම පිළිගත නොහැකි ක්‍රියාවක්.

අදාළ ප්‍රකාශය නිකුත් කර මිනිත්තු කිහිපයක් ඇතුළත එය ඉවත් කර ගැනීමටත්, ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ වීඩියෝ පටයක් මගින් සමාව අයැද සිටීමටත් අනෝජන් කටයුතු කර ඇති බව වාර්තා වෙනවා.

සිත රිදවීමක් මත පදනම් වූ වරදක් හේතුවෙන් පුද්ගලයෙකුට පසුතැවීමට, තමන්ගේ වරද නිවැරදි කර ගැනීමට සහ නැවත ජීවිතය ගොඩනගා ගැනීමට ඇති ඉඩකඩ සම්පූර්ණයෙන්ම අහෝසි නොකළ යුතුය.

මෙම තත්ත්වය සලකා බලමින් සෞදි බලධාරීන්ගෙන් සානුකම්පිතව ඉල්ලා සිටින්නේ අදාළ තරුණයාට ක්ෂමාදානය ලබාදෙන ලෙසයි.

එමෙන්ම ශ්‍රී ලංකා රජය මැදිහත් වී අනෝජන් වෙනුවෙන් විධිමත් නීතිමය සහාය ලබාදීමටත්, ඉහළම රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ බලධාරීන් සමග සාකච්ඡා කිරීමටත් පියවර ගත යුතුය.

සාධාරණත්වය සහ නීතිය ක්‍රියාත්මක කිරීමේදී කරුණාවටද ඉඩක් තැබිය යුතු අතර, නැවත සිය පවුල වෙත පැමිණ අලුතින් ජීවිතය ඇරඹීමට අනෝජන්ට අවස්ථාවක් හිමිවිය යුතුය"

අනෝජන් සිවරාජා සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී ආගමික නායකයෙකුට අපහාස කළ බවට චෝදනා කරමින් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

අනතුරුව පැවති නඩු විභාගයේදී ඔහුට වසර පහක සිර දඬුවමක් සහ සෞදි රියාල් මිලියන 3ක දඩ මුදලක් නියම කර තිබූ බවයි වාර්තා වන්නේ.

මේ අතර, තරුණයා නිදහස් කර ගැනීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මගින් විශේෂ මැදිහත්වීමක් සිදුකර ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කර තිබෙනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ රියාද්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ කොළඹ පිහිටි සෞදි අරාබි තානාපති කාර්යාලය ඒකාබද්ධව සම්බන්ධීකරණය කරමින් මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන බවයි.

කෙසේ වෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමාණික්කම් මහතා චෝදනා කරන්නේ, අදාළ තරුණයාට මුලින් සිර දඬුවමක් සහ දඩ මුදලක් පමණක් නියම කර තිබූ නමුත්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ඉදිරිපත් කළ අභියාචනයක් හේතුවෙන් අවසානයේ ඔහුට මරණ දඬුවම නියම වී ඇති බවයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk