2026-07-26 17:47:00 Hours
ඓතිහාසික දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වන වාර්ෂික ඇසළ මහා පෙරහැරේ කාවඩි නර්තන අංගය ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ජූලි 25 දින මාතර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත යොමු කළ ලිඛිත නිර්දේශයකට අනුව, ජාතික බුද්ධි ප්‍රධානී, රාජ්‍ය බුද්ධි සේවාව, පොලිස් විශේෂ කාර්යාංශය සහ දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බුද්ධි වාර්තා සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
ඒ අනුව, මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා දෙවිනුවර බස්නායක නිලමේවරයා වෙත ලිපියක් යොමු කරමින් ජූලි 28 දින පැවැත්වෙන පෙරහැරෙන් කාවඩි නර්තන අංගය ඉවත් කරන ලෙස දැනුම් දී තිබෙනවා.
බුද්ධි තොරතුරුවලට අනුව, කාවඩි කණ්ඩායම් සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් අතර මතභේද ඇතිව තිබීමත්, සමාජ මාධ්‍ය ඔස්සේ මරණ තර්ජන පවා එල්ල වී තිබීමත් හේතුවෙන් මහජන ආරක්ෂාවට බරපතළ අවදානමක් පවතින බව පොලිසිය පෙන්වා දෙනවා.
පෙරහැර නැරඹීමට දස දහස් ගණනක ජනතාවක් පැමිණෙන බැවින්, ගැටුම් හෝ වෙනත් ප්‍රහාරයක් එල්ල වුවහොත් විශාල ජීවිත හානි සිදුවිය හැකි බව බුද්ධි අංශ අනතුරු අඟවා තිබෙනවා.
ඒ අනුව, මහජන සාමය ආරක්ෂා කිරීම සහ විය හැකි බරපතළ අපරාධ වැළැක්වීමේ අරමුණින් මෙවර ඇසළ පෙරහැරෙන් කාවඩි නර්තන අංගය ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා දැනුම් දී ඇති අතර, අවශ්‍ය වුවහොත් ඒ සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට ද උපදෙස් ලබා දී ඇති බව සඳහන්.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk