2026-06-27 10:47:00 Hours
සමඟි ජන බලවේගයේ විසින් පවත්වන ලද ජනමාධ්‍ය හමුවකදී වරුණ රාජපක්ෂ මහතා ඊයේ (26) සිදුකරන ලද ප්‍රකාශය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ කරුණු පැහැදිළි කිරීමක් සිදුකර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ වරුණ රාජපක්ෂ මහතා නැමැත්තා විසින් එහිදී ප්‍රකාශ කළ අයුරින් චරිත් අබේසිංහ නම් පුද්ගලයා කිසිඳු අවස්ථාවක ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට දුරකථන ඇමතුම් ලබාදී නොමැති බවයි.
අදාළ නිවේදනය පහතින්,
"අද (26) සමගි ජන බලවේගය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී වරුණ රාජපක්ෂ නැමැත්තා විසින් සිදුකොට ඇති බරපතළ සාවද්‍ය ප්‍රකාශයක් පිළිබඳව කරුණු පැහැදිලි කළ යුතුව ඇත.
මෙම මාධ්‍ය හමුවේදී ඔහු ඊයේ (25) දිනයේ අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගැනුණු චරිත් අබේසිංහ නම් පුද්ගලයාට මාස 02කට පෙර අප පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා විසින් දුරකථන ඇමතුමක් ලබා දී ඇති බවත් ජනාධිපතිවරයා හමුවීමට පැමිණෙන ලෙසට ආරාධනා කර ඇති බවත් ප්‍රකාශ කරයි.
මෙම ප්‍රකාශය මුළුමනින්ම අසත්‍ය වන අතර එබඳු ප්‍රකාශයක් පාතාල සබඳතා හා බැඳුණු අල්ලස් සිදුවීම හමුවේ සමගි ජන බලවේගය පක්ෂයක් ලෙස කෙතරම් කලබල වී ඇත්ද යන්න හා බංකොලොත් වී ඇත්ද යන්න පෙන්වා දෙයි. අනෙක් අතට වරුණ රාජපක්ෂ නැමැත්තා ලවා මෙබඳු අතේ රෝලක් මාධ්‍ය හමුවේ කියවීමට තරම් නිවට තත්වයකට සමගි ජන බලවේගය වැනි පක්ෂයක් වැටී තිබීම කණගාටුදායකය.
වෙනත් පක්ෂවලට විවිධ වුවමනාකම් මත පසුබිම නොසලකා පුද්ගලයින් එකතු කර ගැනීමට අවශ්‍ය වුවද අපරාධකරුවන් අප පක්ෂයට හෝ ආණ්ඩුවට එකතු කර ගැනීමට අපට කිසිදු අවශ්‍යතාවක් නොමැත. එසේම මෙබඳු සාවද්‍ය ප්‍රකාශ කොට ඇතැමුන් අපරාධමය සිදුවීම්වලට ලැබිය යුතු සමාජ අවධානය වෙනත් අතකට යොමු කිරීමට සහ අපරාධකරුවන්ට සුදුහුණු ගෑමට දරන උත්සාහයද නිෂ්ඵලය.
මෙම තත්වය තුළ අසත්‍ය ප්‍රකාශ සිදු කරමින් අප පක්ෂයට අවලාද නැගීමට සමගි ජන බලවේගයේ ඇතැමුන් දරන උත්සාහය දැඩිව හෙළාදකින අතර මෙම සාවද්‍ය ප්‍රකාශයන් එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවද අවධාරණය කරමු."
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk