2026-07-19 18:58:00 Hours

ජෝර්දානයේ වෙසෙන අමෙරිකානු ජනතාවට හදිසි ආරක්ෂක දැනුම් දීමක්


...

ජෝර්දානයේ වෙසෙන අමෙරිකානු ජනතාවට එරට අමෙරිකානු තානාපති කාර්යාලය විසින් ආරක්ෂක දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

එරට කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ විශ්වාසදායක සහ නිශ්චිත තර්ජනයක් හේතුවෙන් ජෝර්දානයේ අකාබා ජාත්‍යන්තර ගුවන්තොටුපොල සහ වරාය වෙත ජනතාවට ඇතුළු වීම සීමාකර ඇති බවයි.

මේ අනුව එම ස්ථානය වෙත නොයන ලෙස ද අමෙරිකානු ජනතාවගෙන් ඔවුන් ඉල්ලා තිබෙනවා.

මෙම ආරක්ෂක දැනුම් දීම අද (19) නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව ජෝර්දාන බලධාරීන් නිකුත් කරන ආරක්ෂක උපදෙස් අඛණ්ඩව අනුගමනය කරන ලෙසද එරට පුරවැසියන්ට දැනුම් දී තිබෙනවා.

තවද ජෝර්දානයේ හමුදා කඳවුරු වෙත ගමන් කිරීමෙන් වළකින ලෙස අමෙරිකානු පුරවැසියන් වෙත උපදෙස් ලබාදී බව සඳහන්.

මේ අතර ආරක්ෂක තත්ත්වය මත පසුගිය මාර්තු මස 2 වනදා ජෝර්දානයේ සේවයේ කරන අත්‍යාවශ්‍ය නොවන අමෙරිකානු රජයේ සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ජෝර්දානයේ පිටව යන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝග කර තිබුණා.

එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව වැසියන්ට දැනුම් දෙනු ලැබුවේ විරෝධතා සහ විශාල ජන රැස්වීම්වලින් වළකින ලෙසත් විශාල පොලිස් බලකායක් රඳවා ඇති ප්‍රදේශවලට නොයන ලෙසත්ය.

නිරන්තරයෙන් ජෝර්දානයේ ප්‍රාදේශීය මාධ්‍ය ඔස්සේ තොරතුරු නිරීක්ෂණ කරන ලෙසද ඔවුන් අමෙරිකානු වැසියන්ට දැනුම් දී ඇති බව සඳහන්.

තවද, ප්‍රාදේශීය බලධාරීන්ගේ උපදෙස් අනුගමනය කරන ලෙසත්, ගුවන් ගමන්වල වෙනස්කම් සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමෙන් සෘජුව තොරතුරු ලබාගන්නා ලෙසත් අමෙරිකානු පුරවැසියන්ට දැනුම් දී ඇත.

අමෙරිකාව සමඟ සම්බන්ධ ස්ථානවලදී වැඩි සැලකිල්ලෙන් කටයුතු කරමින් හැකි තරම් අඩු ප්‍රසිද්ධියකින් හැසිරෙන ලෙසද ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk