2026-07-23 09:04 Hours

අවලංගු කළ LRT ව්‍යාපෘතියට ජපානයෙන් අමතර පොලියක් ඉල්ලයි


...

ජපානයේ මූල්‍ය ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සැහැල්ලු දුම්රිය ප්‍රවාහන (LRT) ව්‍යාපෘතිය අවලංගු කිරීම හේතුවෙන් ගෙවූ වන්දි මුදලට අමතරව, ප්‍රමාද වූ ගෙවීම් සඳහා පොලී මුදලක් ද ගෙවන ලෙස ජපානය ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී ඊයේ (22) ප්‍රකාශ කළා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ව්‍යාපෘතිය අවලංගු කිරීම හේතුවෙන් ජපානයට වන්දි ලෙස 2024 අගෝස්තු 23 වනදා ජපන් යෙන් මිලියන 189.7ක්, අගෝස්තු 27 වනදා ඇමරිකානු ඩොලර් මිලියන 1.031ක් සහ සැප්තැම්බර් 24 වනදා රුපියල් මිලියන 108.7ක් ගෙවා ඇති බවයි.

කෙසේ වෙතත්, එම වන්දි මුදල් නියමිත කාලය තුළ ගෙවා නොමැති බව සඳහන් කරමින් ප්‍රමාද වූ ගෙවීම් සඳහා පොලී මුදලක් ද ගෙවිය යුතු බවට ජපානය ඉල්ලීමක් කර ඇති බව අමාත්‍යවරයා පැවසුවා.

ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත් කර ඇති අතර, මේ දක්වා එම පොලී මුදල ගෙවා නොමැති බව ද ඔහු සඳහන් කළා.

LRT ව්‍යාපෘතිය 2020 සැප්තැම්බර් 24 වනදා අමාත්‍ය මණ්ඩල තීරණයක් මත අවලංගු කළ බවත්, එය කොළඹ නාගරික ප්‍රවාහන ගැටලුවට වඩාත් කාර්යක්ෂම හා පිරිවැය අඩු විසඳුමක් නොවන බවට එවකට ඉදිරිපත් වූ නිර්දේශ සැලකිල්ලට ගෙන එම තීරණය ගත් බවත් අමාත්‍ය බිමල් රත්නායක වැඩිදුරටත් පැවසුවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk