2026-07-25 18:56 Hours

අසිතට දිනන දකුණෙනුත් අභියෝගයක්


...

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශ පදනම් විරහිත සහ ද්වේෂ සහගත බව තමන් විශ්වාස කරන බව "දිනන දකුණ" සාමූහිකය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සාමූහිකය සඳහන් කරන්නේ, අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් දැඩි කනස්සල්ල පළ කරන බවයි.

ජාතික ඒකාබද්ධතා සහ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානයක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමින්, නීතිඥ සංගමයේ සභාපතිවරයා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර දේශපාලන ගනුදෙනුවක් පවතින බවට අසිත නිරෝෂණ මහතා චෝදනා කර තිබුණා.

ඊට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කළේ, එම ප්‍රකාශ අසත්‍ය, පදනම් විරහිත සහ ජනතාව නොමඟ යවන සුළු බවයි.

එමෙන්ම, පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී සිදු කළ එම ප්‍රකාශය හැකි නම් පාර්ලිමේන්තුවෙන් පිටතදී ද නැවත ප්‍රකාශ කරන ලෙස නීතිඥ සංගමය මන්ත්‍රීවරයාට අභියෝගයක් ද එල්ල කළා.

ඒ අනුව, නීතිඥ සංගමය එල්ල කළ අභියෝගය භාරගෙන සිය දේශපාලන සදාචාරය ප්‍රදර්ශනය කරන ලෙස "දිනන දකුණ" සාමූහිකය මන්ත්‍රී අසිත නිරෝෂණ මහතාගෙන් ඉල්ලා සිටිනවා.

මෙරට නීතිඥ ප්‍රජාවට, නීති ක්ෂේත්‍රයේ ස්වාධීනත්වයට සහ ගෞරවයට එල්ල වන ඕනෑම අභියෝගයකට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් බවත්, කුමන ආණ්ඩුවක් බලයේ සිටියද ප්‍රජාතන්ත්‍රවාදය, අධිකරණයේ ස්වාධීනත්වය සහ ජනතා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් නීතිඥ සංගමය නිරන්තරයෙන් පෙනී සිට ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk