2026-08-02 11:55:00 Hours
මහර බන්ධනාගාරයේ ඊයේ (01) හටගත් නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව පොලීසිය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
රැඳවියන් සහ බන්ධනාගාර පරිපාලනය අතර ඇති වූ ගැටුම්කාරී තත්ත්වයක් දුරදිග යාමෙන් නොසන්සුන්තාව හටගෙන ඇති අතර, එහිදී රැඳවියන් 7 දෙනෙකු තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. ඉන් එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
ඊයේ (01) රාත්‍රිය පුරා රැඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පලා යාමට අවස්ථා කිහිපයකදී උත්සාහ කර ඇති අතර, ආරක්ෂක අංශ එම සියලු උත්සාහයන් ව්‍යර්ථ කිරීමට සමත්ව තිබෙනවා.
තත්ත්වය පාලනය කිරීම සඳහා විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව සහ පොලීසිය යොදවා තිබූ අතර, ගුවන් හමුදාව බෙල් 412 හෙලිකොප්ටරයක් සහ ඩ්‍රෝන යානයක් මගින් බන්ධනාගාර පරිශ්‍රය නිරීක්ෂණය කිරීමට ද පියවර ගෙන තිබුණා.
නොසන්සුන්තාව අතරතුර රැඳවියන් විසින් බන්ධනාගාරයේ දේපොළ රැසකට දැඩි හානි සිදුකර තිබෙනවා. පරිපාලන ගොඩනැගිලි සහ ලිපිලේඛනවලට ගිනි තබා විනාශ කර ඇති අතර, මුළුතැන්ගෙය, පුනරුත්ථාපන ගොඩනැගිල්ල, පුනරුත්ථාපන කාර්යාලය, ප්‍රධාන ජේලර් කාර්යාලය සහ බන්ධනාගාර රෝහලට ද බරපතළ හානි සිදුව ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මේ අතර රැඳවියන් බැලීමට පැමිණි ඥාතීන්ට බන්ධනාගාරයට ඇතුළුවීමට අවසර නොලැබීම හේතුවෙන් බන්ධනාගාරය ඉදිරිපිට ද උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණා. බන්ධනාගාරය තුළින් වෙඩි හඬට සමාන ශබ්ද කිහිපයක් ඇසීමත් සමඟ ඇතැම් පිරිස් පොලිස් මාර්ග බාධක බිඳගෙන ඉදිරියට යාමට උත්සාහ කළ අතර, එහිදී ආරක්ෂක අංශ තත්ත්වය පාලනය කළ බවයි වාර්තා වන්නේ. ආරක්ෂක අංශ වෙත ගල් ප්‍රහාර ද එල්ල වී තිබූ බව සඳහන්.
පවතින තත්ත්වය හේතුවෙන් මහර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයකට පොලිස් ඇඳිරි නීතිය ද පනවා තිබූ අතර, අද පෙරවරුව වන විට බන්ධනාගාරය තුළ තත්ත්වය සම්පූර්ණයෙන්ම සාමාන්‍ය තත්ත්වයට පත්කර ඇති බව පොලීසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා සඳහන් කළා. නොසන්සුන්තාවට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් ක්‍රියාත්මක බවත් ඔහු ප්‍රකාශ කළා.
මේ අතර තත්ත්වය මේ වනවිට සාමකාමී බවත්, බන්ධනාගාරය ඉදිරිපිට රැඳී සිටින රැඳවියන්ගේ ඥාතීන් සාමකාමීව එම ස්ථානයෙන් ඉවත්ව යන ලෙසත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk