2026-10-05 20:35:00 Hours

උඩරට දුම්රිය මාර්ගයට යළිත් පස් කන්දක් කඩා වැටෙයි


...

පේරාදෙණිය සහ ගෙලිඔය දුම්රිය ස්ථාන අතර අඟුණාවල ප්‍රදේශයේදී අද (05) පස්වරු 6.20ට පමණ දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටී තිබෙනවා.

දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා සඳහන් කළේ, මාර්ගයේ අවහිරතා කඩිනමින් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.

මේ අතර, අද (05) අලුයම පේරාදෙණිය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ කාර්යාල දුම්රියක් ද ගංගොඩ ප්‍රදේශයේදී පීලිපැනීමට ලක්වුණා.

ඒ, දුම්රිය මාර්ගයට ගල් සහ පස් කන්දක් කඩා වැටීමෙන් මාර්ගය අවහිරවීම හේතුවෙන්.

පීලිපැනීමෙන් දුම්රිය එන්ජිම සහ එක් මැදිරියක් අනතුරට ලක්වූ අතර, දුම්රියේ සිටි මගීන් අතුරු මාර්ග ඔස්සේ කඩිගමුව බස් මාර්ගයට පැමිණ තිබුණා.

අනතුරුව ඔවුන් බස් රථ මගින් රඹුක්කනට රැගෙන ඒමෙන් පසු, රඹුක්කන සිට අතිරේක දුම්රියක් යොදවා මගීන් කොළඹ බලා රැගෙන යාමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගත්තා.

දිට්වා සුළි කුණාටුව සමඟ පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ඇති වූ අධික වැසි හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයට දැඩි හානි සිදුවීමෙන් පසු, කොළඹ සිට උඩරට බලා ධාවනය වූ දුම්රිය රඹුක්කන දක්වා සීමා කෙරුණා.

මාස 10කට ආසන්න කාලයක් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමෙන් අනතුරුව කොළඹ කොටුව සිට ගම්පොළ දක්වා දුම්රිය ධාවනය යළි ආරම්භ කෙරුණේ ඉකුත් 2 වැනිදායි.

ඒ අනුව, අද (05) අලුයම 4.35ට පේරාදෙණියෙන් කොළඹ කොටුව බලා පළමු කාර්යාල දුම්රිය ද ධාවනය ආරම්භ කර තිබුණා.

කෙසේ වෙතත්, අද (05) පෙරවරුවේ සිදුවූ පීලිපැනීමෙන් පසු රඹුක්කන සිට පේරාදෙණිය දක්වා දුම්රිය ධාවනය තාවකාලිකව නතර කර තිබූ අතර, මාර්ගයට වැටී තිබූ පස් සහ ගල් ඉවත් කිරීමෙන් අනතුරුව එය යළි ආරම්භ කෙරුණා.

ඒ අනුව අද (05) පස්වරු 4.35ට කොළඹ කොටුව සිට ගම්පොළ දක්වාත්, පස්වරු 5.15ට කොළඹ කොටුව සිට පේරාදෙණිය දක්වාත් දුම්රිය ධාවනය කර තිබුණා.

මේ අතර, ප්‍රතිසංස්කරණයෙන් පසු ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අවසරයකින් තොරව උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු ආරම්භ කළ බවට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය චෝදනා කරනවා.

කෙසේ වෙතත්, ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් මූලිකව හඳුනාගත් අවදානම් ස්ථාන ස්ථාවර කිරීමෙන් අනතුරුව සියලු පාර්ශ්වවල එකඟතාව මත උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යළි ආරම්භ කළ බවයි.

එවන් පසුබිමක අද (05) පස්වරුවේ යළිත් අඟුණාවල ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම සිදුවුණා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk