2026-08-20 12:51:00 Hours
පලෙයි ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ. පුහුණු කඳවුරක් පවත්වාගෙන යන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ ප්‍රචාරය පදනම් විරහිත සහ අසත්‍ය බව ශ්‍රී ලංකා පොලීසිය පවසනවා.
පොලීසිය සඳහන් කළේ, අදාළ වීඩියෝවේ දැක්වෙන ස්ථානය කිලිනොච්චිය පොලිස් කොට්ඨාසයේ අක්කරායන්කුලම පොලිස් වසමට අයත් කන්නගිපුරම් බටහිර, මුක්කම්පන් ප්‍රදේශයේ පිහිටා ඇති බවට හඳුනාගෙන ඇති බවයි.
එම ස්ථානයේ තට්ටු තුනක ගොඩනැගිල්ලක් ඉදිකර ඇති අතර, එය එල්.ටී.ටී.ඊ. කඳවුරක් බවත් බෝම්බ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යන බවත් සඳහන් කරමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා.
ඒ සම්බන්ධයෙන් කිලිනොච්චිය කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ මෙහෙයවීමෙන් සහ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මඟින් විමර්ශන ආරම්භ කර ඇත.
එම විමර්ශනවලදී අදාළ ස්ථානයේ පුපුරණ ද්‍රව්‍ය, නීතිවිරෝධී ද්‍රව්‍ය හෝ බෝම්බ නිෂ්පාදනයක් සිදුවන බවට කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති බව පොලීසිය සඳහන් කළා.
එමෙන්ම එල්.ටී.ටී.ඊ. හෝ වෙනත් ත්‍රස්ත හෝ අන්තවාදී සංවිධානයක් ප්‍රවර්ධනය කිරීමක් හෝ ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා සංග්‍රාමික පුහුණු මධ්‍යස්ථානයක් ලෙස එම ස්ථානය භාවිත කරන බවටද කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය වී නැහැ.
කෙසේ වෙතත්, අදාළ ස්ථානය සම්බන්ධයෙන් නීතිවිරෝධී ලෙස කැලෑ එළි කිරීමක් සහ නීතිවිරෝධී වත්කම් උපයා ගැනීමක් පිළිබඳ කරුණු අනාවරණය වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.
මේ අතර, තහවුරු නොකළ අසත්‍ය තොරතුරු වීඩියෝවක් සහ මාධ්‍ය සාකච්ඡාවක් මඟින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් අදාළ ප්‍රකාශය සිදුකළ 46 හැවිරිදි බොරලැස්ගමුව, බෙල්ලන්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය විසින් පසුගිය 18 වැනිදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු ඊයේ (19) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ මෙහෙයවීමෙන් සහ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මඟින් වැඩිදුර විමර්ශන සිදුකරනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk