2026-08-25 20:57:00 Hours
ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන අද (25) දිවයිනට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ලලිත් කන්නංගර නොහොත් ‘බස් ලලිත්’ පැය 72ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ සැකකරුගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීම්වලදී ඔහුට සම්බන්ධ අපරාධ රැසක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බවයි.
‘බස් ලලිත්’ගේ මෙහෙයවීම මත අවස්ථා පහකදී පුද්ගලයින් හය දෙනෙකු ඝාතනය කර ඇති බවට සැක පළකරන අතර, එම ඝාතන සම්බන්ධයෙන්ද විමර්ශන ආරම්භ කර තිබෙනවා.
2022 දෙසැම්බර් 18 වැනිදා වෙඩික්කරුවෙකු යොදා ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීම, 2024 සැප්තැම්බර් 30 වැනිදා වජිර නිශාන්ත නමැත්තෙකු ඝාතනය කිරීම සහ 2025 වසරේදී මුදුන්කොටුවගේ දොන් ශාන්ත හෙවත් ‘බනා මන්ත්‍රී’ නමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුගෙන් තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය පවසනවා.
එමෙන්ම 2023 නත්තල් දිනයේදී ‘මන්නා රොෂාන්’ සහ ඔහුගේ සමීපතමයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන්ද තොරතුරු හෙළිවී ඇති බව සඳහන් වනවා.
කප්පම් මුදල් ලබා නොදීම ඇතුළු විවිධ හේතු මත මෙම ඝාතන සිදුකර ඇති බවට සැකකරුගෙන් අනාවරණය වූ තොරතුරුවලින් හෙළිව ඇති බව පොලිසිය පවසනවා.
ලලිත් කන්නංගර නොහොත් ‘බස් ලලිත්’ 2025 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකා සහ ඩුබායි පොලිස් නිලධාරීන් එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී ඩුබායිහිදී අත්අඩංගුවට ගනු ලැබුවා.
අනතුරුව ඔහුගේ පිටුවහල් කිරීම සඳහා කටයුතු කර ඇති අතර, ඩුබායි බලධාරීන් විසින් ඊයේ (24) රාත්‍රියේ එරට ගුවන්තොටුපොළේදී ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායමට ඔහු භාරදී තිබෙනවා.
ඒ අනුව ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් අද (25) අලුයම 5.00ට පමණ ඔහු දිවයිනට රැගෙන විත් ඇති අතර, ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මූලික ප්‍රශ්න කිරීම් සිදුකළා.
පසුව ඔහු වැඩිදුර විමර්ශන සඳහා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත රැගෙන ගොස් ඇත.
මේ අතර, ‘බස් ලලිත්’ගේ අපරාධ කල්ලි ක්‍රියාකාරකම් හේතුවෙන් මීගොඩ සහ පාදුක්ක ප්‍රදේශවල ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු එම ප්‍රදේශ අතහැර ගොස් තිබූ බවද වාර්තා වනවා.
ඔහු දිවයිනට රැගෙන ඒමෙන් අනතුරුව නීතිය ක්‍රියාත්මක කිරීමට හැකිවීම සම්බන්ධයෙන් එම ප්‍රදේශවල ජනතාව රජයට ස්තූතිය පළකර ඇති අතර, ඇතැම් පිරිස් රතිඤ්ඤා දල්වමින් එය සැමරූ බවද සඳහන් වනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk