2026-08-25 15:31 Hours

කොළඹට ජල සැපයුම අත්හිටුවීමේ හේතුව එළියට


...

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක ජල සැපයුම තාවකාලිකව අත්හිටුවීමට සිදුව ඇත්තේ පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් පරිසරයට මුදාහැර ඇති රසායනික ද්‍රව්‍යයක් හේතුවෙන් බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

එහි සභාපති චන්දන බණ්ඩාර මහතා සඳහන් කළේ, ජලයට කිසියම් අපද්‍රව්‍යයක් මුසුවී ඇත්දැයි තහවුරු කරගන්නා තෙක් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ජල සැපයුම වහාම අත්හිටුවීමට පියවර ගත් බවයි.

ඊයේ (24) රාත්‍රී 11.30ට පමණ මෙම තත්ත්වය හඳුනාගෙන ඇති අතර, ඒ අනුව අඹතලේ සහ බියගම ජල පවිත්‍රාගාර තාවකාලිකව ක්‍රියා විරහිත කර තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ආරක්ෂක අංශ සමඟ එක්ව මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර ඇති අතර, ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ රසායන විද්‍යාඥයින් ද සම්බන්ධ කර ගනිමින් ජල සාම්පල පරීක්ෂා කර ඇති බව වාර්තා වනවා.

කැලණි ගඟේ ජලයේ තත්ත්වය පිළිබඳව රාත්‍රියේ සිට අද (25) අලුයම දක්වා විවිධ ස්ථානවලින් සාම්පල ලබාගෙන පරීක්ෂා කර ඇති බවද සභාපතිවරයා සඳහන් කළා.

එම පරීක්ෂණවලින් කැලණි ගඟේ ජලය ආරක්ෂිත බව තහවුරු කර ගැනීමෙන් අනතුරුව අද (25) අලුයම 4.30 පමණ වනවිට අඹතලේ සහ බියගම ජල පවිත්‍රාගාරවල ජල නිෂ්පාදනය සහ බෙදාහැරීම යළි ආරම්භ කර තිබෙනවා.

මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පොලීසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇති අතර, ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ ආයතන දැනුවත් කර ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

මේ වනවිට ජල සැපයුම ඇතුළු සියලු තත්ත්වයන් යථා තත්ත්වයට පත්කර ඇති බවද ඔහු සඳහන් කළා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk