2026-09-09 20:26:00 Hours

ශ්‍රී ලංකාවෙන් ඩොලර් මිලියනයක ආධාරය නේපාල රජයට නිල වශයෙන් පිළිගන්වයි


...

නේපාලයේ භෝතේ කෝෂි නදිය ආශ්‍රිතව ඇති වූ දැවැන්ත ගංවතුර හේතුවෙන් රසුවා, නුවාකොට්, ඩාඩිං ඇතුළු දිස්ත්‍රික්කවල සිදුවූ ඛේදවාචකය වෙනුවෙන් නේපාල රජයට සහ ජනතාවට සහය පළ කරමින් ඇමෙරිකානු ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් ශ්‍රී ලංකාව විසින් ලබාදී තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත, ශ්‍රී ලංකා රජය ලබාදීමට පොරොන්දු වූ මෙම මූල්‍ය ආධාරය නේපාලයේ ශ්‍රී ලංකා තානාපති රුවන්ති දෙල්පිටිය මහත්මිය විසින් නේපාල රජය වෙත නිල වශයෙන් භාරදී ඇත.

කාත්මණ්ඩු නුවර පිහිටි නේපාල විදේශ අමාත්‍යාංශයේදී මෙම ආධාරය නේපාල විදේශ අමාත්‍ය ශිෂිර් ඛනාල් මහතා වෙත භාරදී තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් නේපාල ජනතාව වෙත සිය බලවත් ශෝකය සහ සහයෝගීතාව පළ කළ තානාපතිවරිය, ආපදාවෙන් ජීවිතක්ෂයට පත්වූවන්ගේ පවුල් වෙතද සිය ශෝකය ප්‍රකාශ කර ඇති බව සඳහන්.

නේපාල රජය විසින් ක්‍රියාත්මක කරන මානුෂීය සහන හා යථා තත්ත්වයට පත් කිරීමේ මෙහෙයුම් සඳහා සහාය වීම මෙන්ම ගංවතුර හා නායයෑම්වලින් විපතට පත් ජනතාවට උපකාර කිරීම මෙම මූල්‍ය ආධාරයේ අරමුණ වී තිබෙනවා.

මෙම ආධාරය හරහා ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් වන බවද අවධාරණය ඇත.

එමෙන්ම, නේපාලයේ සහන හා පුනරුත්ථාපන කටයුතු සඳහා ඉදිරියටත් නේපාල රජය සමඟ සමීපව කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය සූදානම් බවද සඳහන්.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk