2026-09-23 20:04:00 Hours

වහල මත සූර්ය බලශක්ති ක්ෂේත්‍රයේ අර්බුදයක් ගැන ජනපතිට ලිපියක්


...

වහල මත සූර්ය බලශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති බලපෑම් සම්බන්ධයෙන් දැනුවත් කරමින් ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

‘ශ්‍රී ලංකාවේ වහල මත සූර්ය බලශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති තර්ජනය’ යන මැයෙන් යොමුකර ඇති එම ලිපිය මගින් ජාතික බලශක්ති සුරක්ෂිතතාව සහ ආර්ථික ප්‍රකෘතියට බලපාන ප්‍රතිපත්තිමය ගැටලු දෙකක් සම්බන්ධයෙන් කඩිනම් මැදිහත්වීමක් ඉල්ලා තිබෙනවා.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහ ජාතික පද්ධති ක්‍රියාකරු විසින් නිකුත් කර ඇති නිල පුරෝකථන අනුව, 2027 වසරේ මුල් භාගය වනවිට මෙගාවොට් පැය 450ක පමණ බලශක්ති හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බවද එම ලිපියේ සඳහන්.

එම තත්ත්වය අවම කිරීම සඳහා වහල මත සූර්ය විදුලි පද්ධති සහ බැටරි බලශක්ති ගබඩා පද්ධති වේගයෙන් ව්‍යාප්ත කිරීම ප්‍රායෝගික විසඳුමක් බවද ජාතික වාණිජ මණ්ඩලය පෙන්වා දී තිබෙනවා.

කෙසේ වෙතත්, මෑතකදී නිකුත් කර ඇති ප්‍රතිපත්තිමය උපදෙස් හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට සහාය විය හැකි එම ක්ෂේත්‍රයේ පැවැත්මට තර්ජනයක් එල්ල වී ඇති බවද ලිපියේ සඳහන්.

මේ වනවිට වහල මත සූර්ය විදුලි සහ බැටරි බලශක්ති ගබඩා ක්ෂේත්‍රය ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 2,600ක ධාරිතාවක් දායක කරන අතර, ආනයනික පොසිල ඉන්ධන සඳහා වැයවන මුදලින් මාසිකව ආසන්න වශයෙන් රුපියල් බිලියන 20.4ක් ඉතිරි කිරීමට දායක වන බවද එහි දැක්වෙනවා.

එසේ වුවද, මෙම ක්ෂේත්‍රය මේ වනවිට නියාමනමය බාධක රැසකට මුහුණ දෙමින් සිටින බව ජාතික වාණිජ මණ්ඩලය වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk