2026-09-23 20:22:00 Hours

ඉන්ධන සහනාධාරයක් ද? සංශෝධනයක් ද? තීන්දුව ළඟදීම


...

ඉදිරියේදී ඉන්ධන මිල සම්බන්ධයෙන් සහනාධාරයක් ලබාදීම හෝ මිල සංශෝධනයක් සිදුකිරීම පිළිබඳව මේ වනවිට සාකච්ඡා කරමින් පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ, පසුගිය දිනවල ඇතැම් ඉන්ධන සමාගම් ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීම හේතුවෙන් පිරවුම්හල් කිහිපයක ඉන්ධන හිඟයක් දක්නට ලැබුණු බවයි.

ඒ සම්බන්ධයෙන් පසුගිය සතියේ සියලුම ඉන්ධන සමාගම් කැඳවා සාකච්ඡාවක් පැවැත්වූ බවද ඔහු සඳහන් කළා.

එහිදී අදාළ සමාගම් තමන්ට සිදුවන පාඩු පිළිබඳව රජය දැනුවත් කර ඇති බවයි සභාපතිවරයා පැවසුවේ.

ඒ අනුව RM Parks සමාගම ඩීසල් ලීටරයකින් රුපියල් 173ක සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 38.75ක පාඩුවක් පෙන්වා දී තිබෙනවා.

Sinopec සමාගම ඩීසල් ලීටරයකින් රුපියල් 192ක සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 67ක පාඩුවක්ද, IOC සමාගම ඩීසල් ලීටරයකින් රුපියල් 136ක සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 57ක පාඩුවක්ද සිදුවන බව දැනුම්දී ඇති බව සභාපතිවරයා සඳහන් කළා.

රජයට ජාතික වගකීමක් පැවරී තිබුණද, අනෙකුත් සමාගම් ව්‍යාපාරික අරමුණින් කටයුතු කරන බැවින් පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට ඔවුන්ට හැකියාවක් නොමැති බවද ඔහු පෙන්වා දුන්නා.

එම සමාගම් සමඟ ඇති කරගෙන ඇති ගිවිසුම් අනුව, නියමිත මිලට ඉන්ධන අලෙවි කිරීමේදී පාඩුවක් සිදුවන්නේ නම් එය රජය විසින් පියවිය යුතු බවට ප්‍රතිපාදන පවතින බවද ඩී. ජේ. රාජකරුණා මහතා සඳහන් කළා.

ඒ අනුව, සමාගම්වලට පාඩුවක් නොවන පරිදි ඉන්ධන අලෙවි කිරීමට ඉඩ ලබාදීම හෝ රජය මැදිහත්වී සහනාධාරයක් ලබාදීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා සිදුවන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk