2026-09-22 17:45:00 Hours

ක්‍රිකට් ප්‍රතිසංවිධාන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය


...

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කළ පනත් කෙටුම්පත ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය, නියාමනය, ප්‍රවර්ධනය, සංවර්ධනය සහ පරිපාලනය සඳහා නව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයක් පිහිටුවීම එහි ප්‍රධාන අරමුණයි.

යහපාලනය, විනිවිදභාවය, වගකීම, ඇතුළත්භාවය සහ සමාන අවස්ථා යන මූලධර්ම මත ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා අවශ්‍ය නීතිමය විධිවිධානද පනත් කෙටුම්පතට ඇතුළත්.

එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලු පාර්ශ්වවල සුබසාධනය ආරක්ෂා කිරීම සහ දූෂණ හා අනෙකුත් අනිසි ක්‍රියාකාරකම්වලින් ක්‍රීඩාව ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය බලතල හා කාර්යයන් ද ඊට ඇතුළත් කර තිබෙනවා.

පසුගිය ජුනි 8 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිසංවිධානය සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට අනුමැතිය ලබාදී තිබුණා.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කළ පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ නිෂ්කාශනයද ලැබී තිබෙනවා.

අනතුරුව එය රජයේ ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව සඳහන්.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk