2026-09-22 18:01:00 Hours

අනෝජන් බේරා ගැනීමට රජයෙන් පියවර රැසක්


...

සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන් බේරා ගැනීම සඳහා රජය මේ වනවිට පියවර රැසක් ගෙන ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා සඳහන් කළේ, සිද්ධිය වාර්තා වූ දිනයේ සිටම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සහ විදේශීය දූත මණ්ඩල හරහා අවශ්‍ය මැදිහත්වීම් සිදුකරමින් සිටින බවයි.

අනෝජන්ට සහනයක් ලබාදෙන ලෙස ඉල්ලා ජනාධිපතිවරයා විසින් සෞදි රජු වෙත ලිපියක් යොමු කිරීමටද අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ඔහු පැවසුවා.

එම ලිපිය සෞදි රජු වෙත භාරදීම සඳහා නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් යොමු කිරීමට රජය බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

මීට අමතරව, අනෝජන් සම්බන්ධ නඩු කටයුතු සඳහා වැය වන සියලු වියදම් රජය විසින් දැරීමට පියවර ගන්නා බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් සඳහන් කළා.

"මේ සිදුවීම වාර්තා වුණ දවසේ සිටම රාජ්‍ය තාන්ත්‍රිකය සහ අපේ විදේශීය දූත මණ්ඩල උපයෝගී කරගෙන මේකට මැදිහත් වීමක් සිදුකරමින් හිටියා.

ඒක ඒ පවුලේ අයත් දන්නවා. ඊළඟට මේ තත්ත්වය අනුව තවදුරටත් මේ මැදිහත් වීම කරමින් යනවා. ඊට අමතරව ජනාධිපතිතුමාගෙන් සෞදි රජුට ඉල්ලීමක් හැටියට මේ ශ්‍රී ලාංකික තරුණයාට මේ වරද පිළිබඳව සමාව ලබා ගැනීමට, දඬුවම ලිහිල් කර ගැනීමට අවශ්‍යකරන මැදිහත්වීම ලිපියක් මගින් සෞදි රජුට ඉදිරිපත් කරන්න සූදානම් කරමින් තිබෙනවා.

ඒක ගිහින් බාර දෙන්න අපේ නියෝජ්‍ය කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමක් එක්ක ඒ ඉල්ලීම ඉදිරිපත් කරන්න තමයි රජය බලාපොරොත්තු වෙන්නේ.

ඊට අමතරව මේ නඩු කටයුතු වෙනුවෙන් යන සම්පූර්ණ මුදල මෙතෙක් වියදම් කරන ලද මුදල් ප්‍රතිපූර්ණය කරන්නත් ඉදිරියේදී වියදම් කරන මුදල් සියල්ල රජයෙන් දරන්නට අපි කටයුතු කරනවා.

ඊළඟට මේ සම්බන්ධව අපේ පැත්තෙන් නීති සහයක් ලබා දෙන්න සහ මේ ගැන තවදුරටත් සමාලෝචනය කරන්න ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පේරුම සහ ජනාධිපති නීතිඥ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා කියන ජනාධිපති නීතිඥවරුන් දෙදෙනා ඔවුන්ගේ වියදමින්ම මේ කටයුතු සඳහා මැදිහත් වෙනවා.

මේ අනුව තමයි රජය මේ ගැන මේ වන විට කටයුතු කරමින් පවතින්නේ. ඊයේ ජනාධිපතිතුමා මේ පවුලේ අයත් සමගත් සාකච්ඡා කළා.

ඊට කළින් නීතිපති දෙපාර්තමේන්තුව, විදේශ කටයුතු අමාත්‍යාංශය ඇතුළු මේකට සම්බන්ධ ආයතන එක්ක ජනාධිපතිතුමා විශේෂ සාකච්ඡාවක් කළා කොහොමද මේ ශ්‍රී ලාංකික තරුණයා බේරා ගන්නේ කියන එක. ඒ අනුව දැනටමත් ක්‍රියාමාර්ග කිහිපයක් අනුගමනය කරමින් යනවා."



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk