2026-09-18 09:44:00 Hours

ඩොලර් මිලියන 100ක් රටින් පිටකළැයි කියන නඩුවේ බැංකු නිලධාරීන්ට අධිචෝදනා


...

රේගු ආඥා පනත උල්ලංඝනය කරමින් කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර ඇමරිකානු ඩොලර් මිලියන 100ක් රටින් පිටකළ බව කියන ජාවාරමට සම්බන්ධ වූ වාණිජ බැංකු නිලධාරීන්ට නුදුරේදීම කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරන බව නීතිපතිවරයා ඊයේ (17) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ ප්‍රකාශ කළා.

නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඔස්වර්ල්ඩ් පෙරේරා මහතා සඳහන් කළේ, අදාළ ජාවාරමට දැනුවත්ව සහාය දුන් බැංකු නිලධාරීන් ඒ වෙනුවෙන් මසකට රුපියල් ලක්ෂ 2 බැගින් සිය බැංකු ගිණුම්වලට මුදල් බැර කරගෙන ඇති බවයි.

එමෙන්ම, අදාළ ජාවාරම්කරුවන්ගෙන් අයිෆෝන් ඇතුළු නවීන භාණ්ඩද ඔවුන් ලබාගෙන ඇති බව අධිකරණයට දැනුම් දුන්නා.

ව්‍යාජ සමාගම් 89ක් පවත්වාගෙන යමින් කිසිදු භාණ්ඩයක් මෙරටට ආනයනය නොකර ඇමරිකානු ඩොලර් මිලියන 100ක් රටින් පිටකළ බවට චෝදනා එල්ල වී ඇති ප්‍රධාන සැකකරුවන් වන මොහොමඩ් ජෙෆ්රි සහ මොහොමඩ් මුසාම්මිල් මොහොමඩ් ඉන්පාස් ඇතුළු වාණිජ බැංකු නිලධාරීන් සිව්දෙනෙකුට අදාළ නඩුවේදී මෙම කරුණු ඉදිරිපත් කෙරුණා.

කළු සල්ලි සුදු කිරීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදල් විදේශගත කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු වන මොහොමඩ් ජෙෆ්රිට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර ඇති බවද රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා සඳහන් කළා.

එම අධිචෝදනා පත්‍රය ඊයේ (17) විවෘත අධිකරණයේදී සැකකරුට භාරදී ඇති අතර, ඊට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන 30 වැනිදා ආරම්භ කිරීමට මහාධිකරණය දින නියම කර තිබෙනවා.

මේ අතර, බැංකු නිලධාරීන්ට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ අධිචෝදනා ගොනු කිරීමට නියමිත බවත්, සෙසු අපරාධ චෝදනා සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවත් අධිකරණයට දැනුම් දුන්නා.

මෙම නඩුවේ හයවන සැකකරු විසින් බැංකු නිලධාරීන්ට තුටු පඬුරු ලෙස මසකට ලක්ෂ ගණනින් මුදල් බැර කර ඇති බවටද කරුණු අනාවරණය වී ඇති බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා පැවසුවා.

පසුගියදා අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන ලද ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු මේ වනවිට පොලිස් භාරයේ රඳවා ප්‍රශ්න කරන බවත්, ඔවුන්ගේ කළු සල්ලි සුදු කිරීමට මෙම සැකකරුවන් සෘජුවම දායක වී ඇති බවට ඔවුන්ගෙන් ලබාගත් ප්‍රකාශ අනුව කරුණු අනාවරණය වී ඇති බවත් අධිකරණයට දැනුම් දුන්නා.

කෙසේ වෙතත්, සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා සඳහන් කළේ සිය සේවාදායකයන් සිදුකර ඇත්තේ රජයට බදු අහිමි කිරීම පමණක් බවයි.

රජයේ ආයතන රුපියල් 300ක බද්දක් අය කරන අවස්ථාවක තම සේවාදායකයන් ශත 25ක බද්දක් අය කර එම කටයුතු සිදුකර ඇති බවත්, එබැවින් රජයට අහිමි වූ බදු අයකර ගැනීම සඳහා රේගු ආඥා පනත යටතේ නඩු පැවරීම සිදුකළ යුතු බවත් නීතිඥවරයා වැඩිදුරටත් කියා සිටියා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk