2026-09-17 21:52:00 Hours
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් ජාතික ගමනාගමන කොමිසමේ හිටපු සභාපති රේණුක පෙරේරා මහතා ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේ අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.
අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත්තේ, ජාතික ගමනාගමන කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වන බස් රථ සඳහා බලපත්‍ර 56ක් වාර්ෂික ගාස්තු සම්පූර්ණයෙන් අය නොකර නිකුත් කර ඇති බවයි.
අදාළ බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් 2014 සැප්තැම්බර් 19 වැනිදා අමාත්‍ය මණ්ඩලය විසින් නිර්ණායක නිකුත් කර තිබූ බවත්, එම නිර්ණායක උල්ලංඝනය කරමින් සැකකරු විසින් පත් කළ කමිටුවක නිර්දේශ මත බලපත්‍ර නිකුත් කර ඇති බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නා.
එම කමිටුවේ නිර්දේශ මත බලපත්‍ර 30ක් ද, සැකකරුගේ අභිමතය පරිදි තවත් බලපත්‍ර 26ක් ද නිකුත් කර ඇති බවයි අනාවරණ කර ඇත්තේ.
මෙම බලපත්‍ර සඳහා වාර්ෂික ගාස්තු සම්පූර්ණයෙන් අය කළේ නම් රුපියල් 86,747,880ක මුදලක් රජයට අය කරගත හැකිව තිබූ බවත්, වාර්ෂික ගාස්තුවෙන් අඩක් පමණක් අය කර බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් රුපියල් තුන්කෝටි හතළිස් නව ලක්ෂයකට අධික මුදලක් රජයට අහිමි වී ඇති බවත් අල්ලස් කොමිසම සඳහන් කළා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රකාශ සටහන් කර ගැනීමට මෙන්ම බැංකු සහ දුරකථන වාර්තා ලබා ගැනීමට නියමිත බැවින්, සැකකරු ඇප මත මුදාහැරියහොත් විමර්ශනවලට බාධා සිදුවිය හැකි බව පෙන්වා දෙමින් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
කෙසේ වෙතත්, සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේ අල්ලස් කොමිසම එල්ල කරන සියලු චෝදනා තම සේවාදායකයා ප්‍රතික්ෂේප කරන බවයි.
අදාළ බලපත්‍ර නිකුත් කිරීම විෂය භාර අමාත්‍යාංශය විසින් ගනු ලැබූ තීරණවලට අනුව සිදුකර ඇති බවත්, තම සේවාදායකයා කිසිදු අක්‍රමිකතාවකට සම්බන්ධ වී නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.
සැකකරුගේ රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන්ද අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් වෛද්‍ය වාර්තා කිහිපයක්ද ඉදිරිපත් කර තිබෙනවා.
දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ලබන 29 වැනිදා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk