2026-08-28 14:19:00 Hours

මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරි පනත ළඟදීම පාර්ලිමේන්තුවට


...

මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරි පනත මෙම වසර අවසානයේ හෝ ලබන වසරේ මුලදී පාර්ලිමේන්තුවේ සම්මත කර, මධ්‍යම කඳුකර පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සියලු බලතල එම අධිකාරියට ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

2023 වසරේ බණ්ඩාරවෙල පූනාගල කබරගල කන්ද නායයාමෙන් නිවාස අහිමි වූ පවුල් සඳහා ඉදිකළ ‘නවෝදයාපුරම්’ නිවාස යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරිය පිහිටුවීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පැවසුවා.

ඔහු අවධාරණය සඳහන් කරන්නේ මධ්‍යම කඳුකරය යළිත් පැවති තත්ත්වයට පත් කිරීමට දශක ගණනාවක් ගතවිය හැකි නමුත්, සිදුවෙමින් පවතින පරිසර විනාශය නතර කිරීම සඳහා කඩිනමින් පියවර ගත යුතු බවයි.

මධ්‍යම කඳුකරය ශ්‍රී ලංකාවේ ‘හදවත’ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එය මේ වනවිට ඇස් ඉදිරිපිටම විනාශ වෙමින් පවතින බව මෙහිදී පෙන්වා දුන්නා.

කඳු කඩා වැටීම්, උල්පත් සිඳීයාම මෙන්ම ගංගා සහ ඇළවේලි ගොඩවීම වැනි තත්ත්වයන් දක්නට ලැබෙන බවද ජනාධිපතිවරයා පැවසුවා.

මේ අනුව අදාළ පනත සම්මත කිරීමෙන් පසු මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරියට එම පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සියලු බලතල ලබාදීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා අවධාරණය කළා.

"අපේ රටේ අනාගතයේ වැදගත් කොටසක් ඔසවන්නේ මධ්‍යම කඳුකරය. අපේ වගකීම අපේ අනාගතයට මධ්‍ය පරිසරය සුරක්ෂිත කිරීම.

මේ වැඩපිළිවෙළේදී නිවාස අහිමි වෙන්න පුළුවන්. වගාබිම් තිබෙන ප්‍රදේශ වනාන්තර වෙන්න පුළුවන්. නමුත් ඒක කරන්න ඕන. නැතුවුණොත් විශාල ව්‍යසනයකට මුහුණදෙනවා.

ආයතනවල බලතල බෙදෙයි, පුටු එහෙට මෙහෙට වෙයි, තනතුරු නාම වෙනස්වෙයි....කවුරුවත් කලබල වෙන්න එපා.

ඉඩම් පිළිබඳ විශාල ප්‍රශ්නයක් තිබෙනවා. වත්තේ වැඩ කළාට සමාගම් ලේසියෙන් ඉඩම් දෙන්න කැමති නෑ. නමුත් මෙම සමාගම්වල ගිවිසුම් 2042 වනවිට අවසන්වීමට නියමිතය.

දැනටමත් එම අමාත්‍යාංශය එම ගිවිසුම් පිළිබඳ පසුවිපරම් කිරීම සඳහා කමිටුවක් පත්කර විමර්ශනය කරනවා.

අපි ඉතා ඉක්මනින් ඒ ගිවිසුම් අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. එහිදී ජනතාවගේ අයිතාවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා වගන්ති සහිතව තමයි එළැඹෙන ගිවිසුම් අත්සන් කිරීමට අපි අවධානය යොමු කරන්නේ.

වර්තමාන රජයේ වගකීම සියලු ජන කණ්ඩායම්වලට අවශ්‍ය මූලික උවමනාවන් ඉටුකිරීම. ඒ සඳහා නිවාස ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කර තිබෙනවා. එළැඹෙන අයවැයෙන් නිවාස ගොඩනැගීම ප්‍රමුඛ ලෙස කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.

එම ජනතාවට හොඳ අදායම් මාර්ගයක් අවශ්‍යයි. එය සම්පූර්ණ කිරීමට බොහෝ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. දැනටමත් වැටුප් වැඩිකිරීම් සිදුකර තිබෙනවා. එය ප්‍රමාණවත් නොවුණත්, මූලික පියවර ගෙන තිබෙනවා.

දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ විශාල අවධානයක් යොමු කරනවා. සියවස් ගණනාවක් මේ ප්‍රජාව ගතකළ ජීවිතය තමන්ගේ දරුවන්ට උරුමකර දීම යුක්ති සහගත නෑ.

වත්තේ ඉපදෙනවා, වත්තේ වැඩ කරනවා, වත්තේ මිය යනවා. වත්තෙම පස්වෙනවා. ඒ ජිවිතයෙන් ඔවුන් එළියට ආ යුතුයි. එම ජීවිතයෙන් එළියට ඒමට තිබෙන ප්‍රධානම කාරණය අධ්‍යාපනය.

ඒ වගේම නිරෝගී සම්පන්න ජීවිතයක් වෙනුවෙන් හොඳ සෞඛ්‍ය පහසුකම් ලබාදෙනවා. අඩු බර දරු උපත් වැඩිපුර තිබෙන්නේ මේ මලෛයිගම් ජනතාව තුළ. අවුරුදු 5ට වඩා අඩු මන්දපෝෂණය තියෙන දරුවන් ඉන්නේ කොහෙද, ආයු කාලය අඩු ප්‍රජාවක් ඉන්නේ කෙහෙද....ඒ මේ ජනතාව අතර.

ඒ නිසා සියවස් දෙකකට වැඩි කාලයක් කොන් කරන ලද, ඇස් ඇර ඔවුන් දෙස නොබලන ලද පාලනයන් විසින් මෙම ජනතාව මෙම ව්‍යසනයට ලක්කර තිබෙනවා".



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk