2026-09-02 21:14:00 Hours

ශිෂ්‍යත්ව විභාගයෙන් සිසුන් 56,000ක් කඩඉම් ලකුණු ඉක්මවයි


...

2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව සිසුන් 56,000 දෙනෙකු කඩඉම් ලකුණට වඩා ඉහළ ලකුණු ලබාගෙන ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ සිංහල මාධ්‍යයේ වැඩිම ලකුණු 193ක් ලෙස කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

එමෙන්ම දෙමළ මාධ්‍යයේ වැඩිම ලකුණු ලෙස ලකුණු 188ක් යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.

විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් අද (02) පස්වරුවේ විභාග දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය මේ බව සඳහන් කළා.

ඇය පවසන්නේ මෙවර ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණ 139ක් වන අතර, ඒ අනුව සිසුන් 56,000 දෙනෙකු එම ලකුණට වඩා ඉහළ ලකුණු ලබාගෙන ඇති බවයි.

පසුගිය අගෝස්තු 9 වැනිදා පැවති විභාගය සඳහා අයදුම්කරුවන් 294,132 දෙනෙකු ලියාපදිංචි වී තිබූ අතර, ඉන් සිසුන් 289,867 දෙනෙකු විභාගයට පෙනී සිට තිබෙනවා.

එමෙන්ම විශේෂ අවශ්‍යතා සහිත සිසුන් 1,018 දෙනෙකු මෙවර විභාගයට පෙනී සිට ඇති අතර, බ්‍රේල් මාධ්‍යයෙන් සිසුන් 18 දෙනෙකු විභාගයට පෙනී සිටි බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවා.

ඇය වැඩිදුරටත් සඳහන් කළේ ප්‍රතිඵල සම්බන්ධයෙන් නැවත සමීක්ෂණයට අයදුම් කළ යුතු දිනය පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙන බවයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk