2026-08-30 20:27:00 Hours

අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම මේ වසරේදීම ක්‍රියාත්මක කරන්න - ජනපති


...

අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම නැවත සමාලෝචනය කර, නව යෝජනා ද ඇතුළත් කරමින් එහි කටයුතු මේ වසර තුළදීම ආරම්භ කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ඊයේ (29) අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත.

ඉන්දීය රජයේ දායකත්වය යටතේ රුපියල් බිලියන 6.5ක් දක්වා වැඩිදියුණු කර ඇති ව්‍යාපෘතිය යටතේ පූජා භූමි සීමාව වර්ග කිලෝමීටර් 28 සිට 38 දක්වා පුළුල් කිරීමට නියමිතයි.

පූජා නගරය තුළ ඩීසල් වාහන සීමා කර විද්‍යුත් බස් රථ යොදාගනිමින් නගර සභාව යටතේ ක්‍රමවත් වටරවුම් ප්‍රවාහන සේවයක් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම බැතිමතුන් සඳහා පදික මංතීරු සහ පාපැදි මංතීරු ඉදිකිරීමටත්, දුම්රිය සහ බස් රථ මගින් පැමිණෙන ජනතාව වෙනුවෙන් සිසිල් පරිසරයක් සහිත විවේක ස්ථාන ස්ථාපිත කිරීමටත් නියමිතයි.

පුරාවිද්‍යාත්මක ස්ථාන හුදෙක් නටබුන් ලෙස නොසලකා ජනතාව වන්දනාමාන කරන සජීවී ඓතිහාසික ස්ථාන ලෙස සලකා, බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට ද සැලසුම් කර තිබෙනවා.

මේ අතර, ඇතුල් නුවර පදිංචි පවුල් 331ක් ලෝලුගස්වැව ප්‍රදේශයේ නැවත පදිංචි කිරීම සඳහා ඉඩම්, නිවාස හෝ සාධාරණ වන්දි ලබාදීමේ විකල්ප ක්‍රමවේද සකස් කිරීමට ද නියමිතයි.

අදාළ සංවර්ධන සැලැස්ම ලබන මස 8 වනදා පූජා භූමි සංවර්ධන කමිටුවට ඉදිරිපත් කර, 15 වනදා වනවිට සම්පූර්ණ සවිස්තරාත්මක සැලැස්ම සකස් කර අවසන් කරන ලෙස ජනාධිපතිවරයා ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇති බව සඳහන්.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk