2026-08-13 16:59:00 Hours

විදෙස්ගත අපරාධකරුවන් 93කට ජාත්‍යන්තර රතු නිවේදන


...

විදෙස් රටවල සැඟවී සිටිමින් මෙරට අපරාධවලට සම්බන්ධ වන සැකකරුවන් 93 දෙනෙකු නැවත ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය (Interpol) හරහා රතු නිවේදන (Red Notices) නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසනවා.

'රටම එකට' ජාතික මෙහෙයුම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා අද (13) පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ 2024, 2025 සහ මෙම වසරේ ගතවූ කාලය තුළ මෙම රතු නිවේදන ඔස්සේ සැකකරුවන් 38 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති බවයි.

ඊට අමතරව, පොලිස්පතිවරයාගේ සෘජු මැදිහත්වීම මත තවත් ප්‍රමුඛ පෙළේ නමගිය අපරාධකරුවන් 35 දෙනෙකු මෙරටට රැගෙන ඒමට හැකිවූ බවද ඔහු වැඩිදුරටත් අනාවරණය කළා.

මෙලෙස මෙරටට ගෙන්වා ගන්නා ලද සැකකරුවන් විසින් නීති විරෝධී ලෙස උපයාගත් වාහන, නිවාස, රත්‍රන් සහ ඉඩම් ඇතුළු විශාල දේපොළ ප්‍රමාණයක් රාජසන්තක කිරීමේ විශේෂ වැඩසටහනක්ද මේ වනවිට ක්‍රියාත්මක කෙරෙනවා.

ඒ අනුව,

2024 වසරේදී: රුපියල් මිලියන 1,490ක දේපොළ 2025 වසරේදී: රුපියල් මිලියන 1,549ක දේපොළ

රජයට පවරාගැනීමේ මූලික පියවර ලෙස අක්‍රිය කිරීමට පියවර ගෙන තිබෙනවා.

තවද, 2026 වසරේ ජනවාරි 01 වැනිදා සිට මේ දක්වා කාලය තුළ රුපියල් මිලියන 839ක් වටිනා නීතිවිරෝධී දේපොළ රජය සතු කරගැනීම සඳහා වන මූලික නීතිමය ප්‍රවේශයන්ද මේ වන විටත් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk