2026-08-04 21:42:00 Hours

මහානාහිමිවරුන්ගේ ලිපිය ගැන දැනුවත් නැහැ - කැබිනට් ප්‍රකාශක


...

අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කරමින් ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත යොමු කළ බව පැවසෙන ලිපිය සම්බන්ධයෙන් තමන් මෙතෙක් දැනුවත් නොමැති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

අද (04) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඔහු පැවසුවේ, ඊයේ (03) අධිකරණ අමාත්‍යවරයා සමඟ මල්වතු, අස්ගිරි සහ රාමඤ්ඤ නිකායේ මහානාහිමිවරුන් බැහැදැක 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ බවයි.

එහිදී අධිකරණයේ ගොඩගැසී ඇති නඩු කඩිනමින් අවසන් කිරීම ඇතුළු සංශෝධනයේ අරමුණු පිළිබඳව මහානාහිමිවරුන් දැනුවත් කළ බවත්, ඒ සම්බන්ධයෙන් උන්වහන්සේලා කිසිදු විරෝධයක් පළ නොකළ බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම, මෙම සංශෝධනය එක් විනිසුරුවරයෙකු ඉලක්ක කර ගත් එකක් නොව සියලු අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා වන පියවරක් බව පැහැදිලි කළ අතර, ඒ අනුව මහානාහිමිවරුන් එම ක්‍රියාවලිය පිළිගත් බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

"මහානායක හිමිවරුන් එව්වා යැයි කියන ලිපියක් සම්බන්ධයෙන් මගේ දැනුවත්භාවයක් නෑ. ඊයේ උදේ වරුවේ මමත් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාත් මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන් මුණගැසුණා.

ඊට පසුව දහවල් කාලයේ රාමඤ්ඤ නිකායේ මහනායක හිමිවරු මුණ ගැසුණා. අපිට ඊයේ කැබිනට් මණ්ඩලය තිබුණ නිසා අමරපුර නිකායේ මහනායක හිමිවරු මුණ ගැසුණේ නෑ. අද සවස 5ට මමත් අධිකරණ ඇමතිතුමාත් අමරපුර නිකායේ මහනායක හිමිවරු මුණගැසෙනවා.

ඇත්තටම ඒ සාකච්ඡා හැම එකක්ම වගේ පැයකට ආසන්න කාලයක් තිබුණා. විශේෂයෙන් මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහනායක හිමිවරුන් සමග අපි පැවැති සාකච්ඡාවේදී අපි ඉදිරිපත් කිරීමට යන 22 වන ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සේවා පනතට අදාළ සංශෝධන පිළිබඳව අපි සාකච්ඡා කළා. උන්වහන්සේලාට අපි ආණ්ඩුවේ ස්ථාවරය දැනුම්දුන්නා.

විශේෂයෙන් අපේ අරමුණ බවට පත්වෙලා තිබුණේ මේ රටේ ගොඩගැහිලා තිබෙන නඩු කටයුතු කාර්යක්ෂමව අවසන් කරලා ජනතාවට සහනයක් දෙන්න. මම හිතනවා ඒක මේ රටේ කවුරුත් හිතන සත්‍යයක්.

මල්වතු මහනායක හාමුදුරුවොත් අපිට කියා සිටියා උන්වහන්සේත් අවුරුදු 20කට කාලයකට මොකක් හරි නඩු කටයුත්තකට මුහුණ දෙමින් සිටිනවා කියලා. ඉතිං හැමෝටම අවුරුදු 12-20 ආදී කාලයකට මේ නඩුවලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. නඩු කටයුතු කාර්යක්ෂමව ඉක්මන් කර ගැනීම සඳහා අධිකරණයේ සිදුවන ප්‍රතිසංස්කරණයක් පිළිබඳව කාගේවත් විරෝධයක් නෑ, උන්වහන්සේලාගෙත් විරෝධයක් නෑ.

මල්වතු සහ අස්ගිරි මහනායක හිමිවරුන්ට තිබුණ එකම කරුණ තමයි අපෙන් දැනගන්න මේ ව්‍යවස්ථා සංශෝධනය එක විනිශ්චයකාරවරයෙක් ඉලක්ක කරගෙන පමණක් සිදුකරන එකක්ද කියන එක. අපි පැහැදිලි කළාට පස්සෙදි 22 වන ව්‍යස්ථා සංශෝධනයෙන් සිදුවන්නේ උපරිමාධිකරණ, අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ වයස වැඩි කරන එක.

අධිකරණ සේවා පනත සංශෝධනය කිරීමෙන් දිසා අධිකරණවල ඇතුළු සියලු අධිකරණවල විනිශ්චයකාරවරුන්ගේ වයස වැඩි කරනවා කියලා අපි පැහැදිලි කරලා දුන්නා. උන්වහන්සේලාට ඒක පැහැදිලි කරලා දුන්නාට පස්සේ උන්වහන්සේලා ඒක පිළිගත්තා."



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk