2026-08-04 15:12:00 Hours

මහර සිද්ධිය බන්ධනාගාර පද්ධතිය අඩපණ කිරීමේ කුමන්ත්‍රණයක් දැයි සැකයක් - ඇමති හර්ෂණ


...

මහර බන්ධනාගාරයේ ඇති වූ කලහකාරී සිද්ධිය බන්ධනාගාර පද්ධතිය අඩපණ කිරීමේ සංවිධානාත්මක කුමන්ත්‍රණයක කොටසක් දැයි සැකයක් මතුවන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසනවා.

අද (04) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙවැනි සිද්ධීන් සෙසු බන්ධනාගාර වෙතද රැල්ලක් ලෙස ව්‍යාප්ත විය හැකි බවට ලැබී ඇති තොරතුරු පිළිබඳ අවධානය යොමු කර ඇති බවයි.

පැනනගින ඕනෑම තත්ත්වයක් ජීවිත හානි අවම වන පරිදි පාලනය කිරීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය මේ වන විටත් සිදුකරමින් පවතින බවද ඔහු ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ තවත් බන්ධනාගාර දෙක තුනක මෙවැනි තත්ත්වයන් ඇතිවිය හැකි බවට ලැබුණු තොරතුරු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් වෙත දැනුම් දී ඇති බවයි.

මීගමුව බන්ධනාගාරයේ සිදුවීම රැඳවියන් අතර මත්ද්‍රව්‍ය සම්බන්ධ ආරවුලක් වුවද, මහර බන්ධනාගාරයේ සිද්ධිය පාලන තන්ත්‍රයට එරෙහිව එල්ල වූ සංවිධානාත්මක ක්‍රියාවක් බවට සැක කරන බවද ඔහු පැවසුවා.

එකවර රැඳවියන් දහසකට ආසන්න පිරිසක් ගිනි තැබීම් සිදු කිරීම පිටුපස සංවිධානාත්මක කණ්ඩායමක් සිටින බවට සැක පළ කරන බවත්, එවැනි කුමන්ත්‍රණයක් අනාවරණය වුවහොත් ඊට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළා.

එමෙන්ම ගිනි තබා විනාශ කර ඇත්තේ මහජනතාවගේ බදු මුදලින් ඉදිකළ රාජ්‍ය දේපළ බවත්, ඒවා නැවත ගොඩනැගීමටද වැය වන්නේ මහජන මුදල් බව රැඳවියන් තේරුම් ගත යුතු බව ඔහු සඳහන් කළා.

මේ අතර, මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ සභාපතිත්වයෙන්, අමාත්‍ය ආනන්ද විජයපාල මහතා, අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්, පොලීසිය, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk