2026-08-25 21:37:00 Hours

මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනමයි


...

මන්නාරම් ද්‍රෝණියේ මෙම වසර සඳහා ඛනිජ තෙල් ගවේෂණ බලපත්‍ර පිරිනැමීමේ වටය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අද (25) පෙරවරුවේ සිදුකෙරුණා.

ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කළ මෙම අවස්ථාව බලශක්ති සහ ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක සහ කම්කරු අමාත්‍ය මෙන්ම මුදල් ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණා.

මෙහිදී ජාත්‍යන්තර බලශක්ති සමාගම් සඳහා ගවේෂණ කටයුතු සිදුකිරීමට වර්ග කිලෝමීටර් 34,000කට ආසන්න ප්‍රදේශයක් ආවරණය වන පරිදි මන්නාරම් ද්‍රෝණියේ බිම් කොටස් හතරක් පිරිනැමීමට නියමිතයි.

මීට පෙර සිදුකළ ගවේෂණවලදී ස්වාභාවික වායු සහ ද්‍රව හයිඩ්‍රොකාබන සොයාගැනීමත් සමඟ මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් සහ ස්වාභාවික ගෑස් පවතින බවට තහවුරු වී ඇති බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරනවා.

එමෙන්ම, ද්‍රෝණියේ සාපේක්ෂව විශාල ප්‍රදේශයක් මෙතෙක් ගවේෂණය කර නොමැති බැවින් නවීන භූගවේෂණ සහ තාක්ෂණික ක්‍රමවේද භාවිත කරමින් දත්ත රැස් කිරීමට ජාත්‍යන්තර සමාගම් සඳහා මෙහිදී අවස්ථාව හිමිවන බව ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් නීල් ද සිල්වා මහතා පවසනවා.

අධිකාරිය සතුව පවතින මන්නාරම් ද්‍රෝණියේ භූ විද්‍යාත්මක දත්ත පරිශීලනය කිරීමටද අදාළ සමාගම්වලට අවස්ථාව ලබාදෙන බවද ඔහු සඳහන් කළා.

එම අධිකාරියේ අධ්‍යක්ෂකවරයා පැවසුවේ දැනට පවතින දත්ත අනුව මන්නාරම් ද්‍රෝණියෙන් ඛනිජ තෙල් බැරල් බිලියන 2ක් සහ ස්වාභාවික ගෑස් ඝන අඩි ට්‍රිලියන 9ක් පමණ ලබාගැනීමේ හැකියාවක් පවතින බවට අනුමාන කර ඇති බවයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk