2026-09-05 10:03 Hours

හිරේ ගියපු නාමල් වෙනුවෙන් ෆේස්බුක් ගිණුම තාම Active


...

තමන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ කාලසීමාව සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින්, එම අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඊයේ (04) අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ මහතා ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.

අනතුරුව සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, වත්මන් ආණ්ඩුවේ දෙවසරක ධුර කාලය සපිරීම සනිටුහන් කරමින් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (05) ආණ්ඩුවේ දේශපාලන රැලියක් පැවැත්වීමට නියමිත බවයි.

එමෙන්ම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පාක්ෂිකයින් දහස් ගණනකගේ සහභාගීත්වයෙන් සැප්තැම්බර් 12 වැනිදා පැවැත්වීමට නියමිත දේශපාලන රැස්වීම සඳහාද මේ වනවිට කටයුතු සූදානම් කරමින් පවතින බව නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

මෙවැනි දේශපාලන රැලි පැවැත්වීමට නියමිත පසුබිමක තමන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම දේශපාලන පළිගැනීමක් බවට ඔහු චෝදනා කරනවා.

‘වසර දෙකක් පුරාවට ඔවුන් කියා සිටියේ අපට එරෙහිව ඔවුන් සතුව සාක්ෂි තිබෙන බවයි. සොරා ගත් මුදල් නැවත ලබා ගෙන සත්‍ය හෙළි කරන බවයි. මා සම්බන්ධව යම් සාක්ෂියක් පවතින්නේ නම්, සාධාරණ සහ අපක්ෂපාතී පරීක්ෂණයකට මුහුණ දීමට මම සූදානම්. කිසියම් වරදක් සිදු කර ඇත්නම් එයට අදාළ නීතිමය පසුබිම යටතේ කටයුතු කිරීමට මම සූදානම්. නීතියට මුවා වී වෛරී සහගත දේශපාලන පළිගැනීම් සිදුනොවිය යුතු බව අවධාරණය කරමි. අද දිනයේ සැප්තැම්බර් 18 දක්වා මා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගෙන තිබෙනවා. හෙට රජය බලයට පැමිණ වසර දෙකක් ගතවන මොහොතේ ජනහමු පැවැත්වීමට නියමිත අතර,ජනාධිපතිවරයා එහිදී ජනතාව අමතනු ඇත. වසර දෙකක පාලනයෙන් පසුව ජනතාව වෙනුවෙන් සැබැවින්ම ඉටු කළේ කුමක්දැයි බරපතල ගැටළු බොහෝමයක් මතු වී ඇති අවස්ථාවක, අද මේ සිදුවීම නොසලකා හැරීම අපහසු ය. එසේම, සැප්තැම්බර් 12 වනදා අනුරාධපුරයේ පැවැත්වීමට නියමිත අපගේ දැවැන්ත ජන රැළිය සඳහා දහස් ගණනින් ජනතාව එක්වීමට නියමිතය. මා හට බියවීමට කිසිවක් නැත. සඟවා තැබීමට කිසිවක් නැත. මා සෑම මොහොතකම විශ්වාස කළ නිවැරදි දෑ වෙනුවෙන්ද, මා නියෝජනය කරන ජනතාව වෙනුවෙන් ද පෙනී සිටින අධිෂ්ඨානයෙන් මේ සියලු අභියෝගයන්ට මුහුණ දෙමි. මාගේ නිදහස අහිමි කළ හැක්කේ එක්තරා කාලයකට පමණි. නමුත් මාගේ හඬ, මාගේ විශ්වාසයන් හෝ මාගේ ආදරණීය මාතෘ භූමියේ ජනතාව වෙනුවෙන් මා කරන කැප කිරීම උදුරා ගත නොහැක. දේශපාලන බලය තාවකාලිකය. සත්‍ය සදාකාලිකය. මේ සියලු සිදුවීම් කුමක් උදෙසාද, කවදා කවුරුන් විසින් සිදු කළේද යන්න ඉතිහාසය සාක්ෂි දරනු ඇත. මේ සියල්ලටම මම නොබියව මුහුණ දෙමි. - නාමල් රාජපක්ෂ’



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk