2026-07-16 11:04:00 Hours

මෙසීගේ මායාකාරී දස්කම් මැද ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් සටනට


...

එංගලන්තය සමඟ ඊයේ (15) පැවති ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව තරගයෙන් ගෝල 2ට 1ක් ලෙස තියුණු ජයක් වාර්තා කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ආර්ජන්ටිනාව සමත් වුණා.

ඇට්ලන්ටාහි පැවති මෙම තරගයේ පළමුවෙන්ම ලකුණු පුවරුව විවෘත කළේ එංගලන්තයයි.

තරගයේ 55 වැනි මිනිත්තුවේදී ඇන්තනි ගෝර්ඩන් ලබාගත් ගෝලයත් සමඟ එංගලන්තය පෙරමුණට පැමිණියා.

කෙසේ වෙතත්, තරගයේ අවසන් මිනිත්තු කිහිපයේදී ලියොනෙල් මෙසීගේ විශිෂ්ට පන්දු යොමු කිරීම් දෙකක් ආර්ජන්ටිනාවට පෙරළිකාර ජයක් අත්කර දීමට මූලික වුණා.

තරගයේ 85 වැනි මිනිත්තුවේදී මෙසී ලබාදුන් පන්දුවක් සාර්ථක ලෙස දැල තුළට යොමු කළ එන්සෝ ෆර්නැන්ඩස් ආර්ජන්ටිනාව වෙනුවෙන් සම ලකුණු ගෝලය වාර්තා කළා.

ඉන් අනතුරුව අතිරේක කාලයේ දෙවැනි මිනිත්තුවේදී නැවතත් මෙසීගෙන් ලැබුණු නිවැරදි පන්දු යොමු කිරීමක් හිසෙන් දැල තුළට යොමු කළ ආදේශක ක්‍රීඩක ලුටාරෝ මාර්ටිනස් ජයග්‍රාහී ගෝලය වාර්තා කළා.

මෙම ජයග්‍රහණයත් සමඟ යුරෝපීය ශූර ස්පාඤ්ඤය සමඟ පැවැත්වෙන ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ආර්ජන්ටිනාවට හැකි වුණා.

1962 වසරේ බ්‍රසීලයෙන් පසු පිට පිට ලෝක කුසලාන ශූරතාව දිනාගත් කණ්ඩායමක් බිහි වී නොමැති අතර, එම ඉතිහාසය වෙනස් කිරීමේ අවස්ථාවද මෙවර ආර්ජන්ටිනාවට හිමිව තිබෙනවා.

එමෙන්ම මෙම අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමත් සමඟ ලියොනෙල් මෙසී ලෝක කුසලාන අවසන් මහා තරග තුනකට ක්‍රීඩා කළ ඉතිහාසයේ දෙවැනි ක්‍රීඩකයා බවට පත්වීමට නියමිතයි.

කණ්ඩායම් 48ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙවර ලෝක කුසලානයේ අවසන් මහා තරගය ලබන ඉරිදා නිව් ජර්සිහි MetLife ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර, එහිදී ආර්ජන්ටිනාව සහ ස්පාඤ්ඤය ශූරතාව වෙනුවෙන් තරග වදිනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk