2026-07-17 21:21:00 Hours

2026 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව ඇරඹෙයි - චීන ජනපතිගෙන් ගෝලීය AI සඳහා යෝජනා 4ක්


...

2026 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව සහ ගෝලීය කෘත්‍රිම බුද්ධි කළමනාකරණය පිළිබඳ උසස් පෙළේ රැස්වීම අද (17) චීනයේ ශැංහයි නුවරදී ආරම්භ වුණා.

"සාධාරණ හා යුක්ති සහගත ගෝලීය කෘත්‍රිම බුද්ධි කළමනාකරණ පද්ධතියක් එක්ව ගොඩනැගීම" යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුවේ සමාරම්භක උළෙල අමතමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රධාන දේශනය පැවැත්වුවා.

ජනතාව කේන්ද්‍ර කරගත්, යහපත් සහ වගකීම්සහගත කෘත්‍රිම බුද්ධි සංවර්ධනයක් සඳහා චීනය කැපවී සිටින බව එහිදී ඔහු අවධාරණය කළා. කෘත්‍රිම බුද්ධිය පොදු සමෘද්ධිය ප්‍රවර්ධනය කරන අතරම ගෝලීය ආරක්ෂාව තහවුරු කරන ප්‍රධාන ගාමක බලවේගයක් බවට පත් කළ යුතු බවද පෙන්වා දුන්නා.

එහිදී ගෝලීය කෘත්‍රිම බුද්ධි පාලනය සම්බන්ධයෙන් සිව්වැදෑරුම් යෝජනා ද ඉදිරිපත් කෙරුණා.

ඒ අනුව, විවෘතභාවය සහ පොදු ජයග්‍රහණ පදනම් කරගත් නවෝත්පාදන සංවර්ධනය ඉදිරියට ගෙන යාම, කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිත අවදානම් කළමනාකරණය සහ ආරක්ෂිත පාලන ක්‍රමවේද ශක්තිමත් කිරීම, රටවල් අතර දැනුම හුවමාරුව සහ සහයෝගීතාව වර්ධනය කිරීම මෙන්ම ගෝලීය අභියෝගවලට ඒකාබද්ධව මුහුණ දෙමින් සාධාරණ කෘත්‍රිම බුද්ධි පාලන පද්ධතියක් ගොඩනැගීම එම යෝජනාවලට ඇතුළත් වුණා.

නිසි වගකීමකින් යුතු දැවැන්ත රටක් ලෙස චීනය, කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයේ පොදු නිෂ්පාදන සහ සේවා සපයන්නෙකු මෙන්ම ගෝලීය විසඳුම් ඉදිරිපත් කරන්නෙකු ලෙස කටයුතු කරන බවද ෂී ජින්පිං මහතා සඳහන් කළා. එමෙන්ම, ගෝලීය කෘත්‍රිම බුද්ධි සංවර්ධනය සඳහා චීනය ක්‍රියාත්මක කරන නව පියවර රැසක් ද එහිදී එළිදැක්වුණා.

මෙම සමුළුවට කසක්ස්ථාන ජනාධිපති කසීම්-ජොමාර්ට් ටොකායෙව්, කාම්බෝජ අග්‍රාමාත්‍ය හුන් මැනට්, තායිලන්ත අග්‍රාමාත්‍ය අනූටින් චාන්විරකුල් සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් ඇතුළු රාජ්‍ය නායකයින් සහ ජාත්‍යන්තර නියෝජිතයින් රැසක් ද එක්ව සිටියා.

ඔවුන් සිය දේශනවලදී ගෝලීය කෘත්‍රිම බුද්ධි කළමනාකරණය සඳහා චීනය ලබාදෙන දායකත්වය අගය කරමින්, ජනාධිපති ෂී ජින්පිං මහතා ඉදිරිපත් කළ යෝජනා සහ ක්‍රියාමාර්ග සඳහා සහය පළ කළා.

සමුළුව අවසානයේ "2026 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව සහ ගෝලීය කෘත්‍රිම බුද්ධි කළමනාකරණය පිළිබඳ උසස් පෙළේ රැස්වීමේ සභාපතිවරයාගේ ප්‍රකාශය" ද නිකුත් කෙරුණා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk