2026-07-18 15:34 Hours
දුම්රිය දෙපාර්තමේන්තුව සතු දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල සංචිතය ශීඝ්‍රයෙන් අඩුවීම හේතුවෙන් ඉදිරියේදී දුම්රිය ගමන්වාර පවත්වාගෙන යාමේ බරපතළ අර්බුදයක් මතුවිය හැකි බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා.
එම සංගමයේ ලේකම් කසුන් චාමර මහතා සඳහන් කළේ, පවතින දුම්රිය කාලසටහනට අනුව ගමන්වාර අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා බලධාරීන් කඩිනමින් මැදිහත් විය යුතු බවයි.
2023 වසරේදී 106ක් ලෙස පැවති දුම්රිය එන්ජින් සංචිතය මේ වනවිට 98ක් දක්වා අඩුවී ඇති අතර, එන්ජින් 8ක් භාවිතයෙන් ඉවත් කර ඇති බව ඔහු පෙන්වා දෙනවා.
2023 වසරේ දුම්රිය ගමන්වාර 450කට ආසන්න සංඛ්‍යාවක් ක්‍රියාත්මක කිරීම සඳහා එන්ජින් 74ක් අවශ්‍යව තිබූ නමුත්, ධාවනයට සුදුසු තත්ත්වයේ තිබුණේ එන්ජින් 68ක් පමණි.
එම සංඛ්‍යාව මේ වනවිට තවත් පහත වැටී ඇති අතර, ධාවනයට සුදුසු එන්ජින් සංඛ්‍යාව 49ක් දක්වා අඩුවී තිබෙනවා.
මේ අතර, 2023 වසරේදී බලවේග කට්ටල 109ක් සංචිතයේ පැවති අතර, මේ වනවිට එය 106ක් දක්වා අඩුවී ඇති බවයි වාර්තා වන්නේ. බලවේග කට්ටල 3ක් භාවිතයෙන් ඉවත් කර ඇති අතර, පවතින දුම්රිය සේවාව පවත්වාගෙන යාම සඳහා බලවේග කට්ටල 88ක් අවශ්‍ය බව ද සඳහන්.
කෙසේ වෙතත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ 2023 වසරේදී ක්‍රියාකාරී තත්ත්වයේ තිබූ බලවේග කට්ටල 78ක් මේ වනවිට 52ක් දක්වා පහත වැටී ඇති අතර, ඒ අනුව බලවේග කට්ටල 26ක හිඟයක් පවතින බවයි.
තවද 2023 වසරේදී එන්ජින් සහ බලවේග කට්ටල එකතුව 261ක් ලෙස පැවති අතර, වසර තුනක කාලය තුළ එයින් 19ක් භාවිතයෙන් ඉවත් කිරීමත් සමඟ 2026 වනවිට සමස්ත සංචිතය 242ක් දක්වා පහත වැටී තිබෙනවා.
මෙම තත්ත්වය හේතුවෙන් දුම්රිය සේවාවට දැඩි බලපෑම් එල්ල වීමේ අවදානමක් පවතින බැවින්, ගැටලු විසඳීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස කසුන් චාමර මහතා බලධාරීන්ගෙන් ඉල්ලීමක් ද සිදු කළා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk