2026-06-23 09:56:00 Hours
ඉවත දමන කෙසෙල් ගසේ කඳේ තන්තු උපයෝගී කර ගනිමින් රෙදිපිළි සහ ඇඟලුම් නිෂ්පාදනය කිරීමේ නවෝත්පාදන වැඩසටහන ආරම්භ කළේ තමන් කර්මාන්ත අමාත්‍ය ධුරය දැරූ සමයේදී බව හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා පවසනවා.
සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කළේ, කෙසෙල් තන්තු භාවිතයෙන් නිෂ්පාදනය කරන ලද ඇඳුම් එළිදැක්වීම සහ ඒවා වෙළෙඳපොළට යොමු කිරීම සඳහා අවශ්‍ය තත්ත්ව සහතික ලබාදීමද එම සමයේදී සිදු කළ බවයි.
“එහෙන් කෙසෙල් කඳ දැම්මම මෙහෙන් ඇඳුම් එළියට එන ෆැක්ටරියක් හදනවා” යැයි වත්මන් රජයේ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසන ආකාරය උපේක්ෂාවෙන් බලා සිටි බවද ඔහු සිය සටහනේ සඳහන් කර තිබෙනවා.
තවද, තමන් කර්මාන්ත අමාත්‍යවරයා ලෙස කටයුතු කළ 2019 වසරේදී කෙසෙල් කෙඳි මගින් නිෂ්පාදනය කළ රෙදිපිළි සහ ඇඟලුම් එළිදැක්වීම මෙන්ම ළදරු ඇඳුම් සඳහා සෞඛ්‍යාරක්ෂිත සහතික ලබාදීමද සිදු කළ බව විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළා.
ඔහු පෙන්වා දෙන්නේ, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය (ස්ලිටා) සහ මොරටුව විශ්වවිද්‍යාලයේ පර්යේෂණ අංශය එක්ව මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ බවයි.
එම නවෝත්පාදන වැඩසටහනෙන් අනතුරුව පෞද්ගලික ආයතන රැසක් කෙසෙල් තන්තු භාවිතයෙන් ඇඟලුම් නිෂ්පාදනය කරමින් සිටින අතර, නවෝත්පාදකයන් කිහිප දෙනෙකු එම නිෂ්පාදන අපනයනයද කරන බව විමල් වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk