2026-07-30 20:36:00 Hours

අඳුරු යුගය අවසන්කර ඌරන්ටත් රක්ෂණයක්


...

අප්‍රිකානු සූකර උණ වසංගතයෙන් සූකර කර්මාන්තයට සිදුවූ බලපෑම අවම කර ගොවීන් යළි ශක්තිමත් කිරීමේ අරමුණින් අගෝස්තු මාසය "සූකර රක්ෂණ මාසය" ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ජනාධිපති කාර්ය සාධක බළකායේ තීරණයකට අනුව සකස් කළ සූකර රක්ෂණ යෝජනා ක්‍රමය සත්ව පාලන ගොවීන් වෙත හඳුන්වා දී ඇති අතර, එම රක්ෂණ ක්‍රමය ප්‍රවර්ධනය කිරීම සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි සඳහන් වන්නේ.

ඒ අනුව, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වාණිජ මට්ටමේ සූකර ගොවිපළවල අභිජනන සූකර සතුන් රක්ෂණයට ඇතුළත් කර ගැනීමට අවස්ථාව හිමි වනවා.

අප්‍රිකානු සූකර උණ, හදිසි අනතුරු සහ වෙනත් සූකර රෝග හේතුවෙන් සිදුවන මරණ සඳහා මෙම රක්ෂණ ආවරණය හිමි වන අතර, මාස 6 සිට අවුරුදු 4½ දක්වා වයස්ගත අභිජනන සතුන් සඳහා වාර්ෂිකව රුපියල් 200,000ක උපරිම රක්ෂිත මුදලක් දක්වා රක්ෂණ ආවරණ ලබාදීමට නියමිතයි.

රක්ෂණ ක්‍රමවේදය පිළිබඳ වැඩිදුර තොරතුරු කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ දිස්ත්‍රික් කාර්යාල, පශු වෛද්‍ය නිලධාරී කාර්යාල, සත්ව සංවර්ධන උපදේශන නිලධාරීන් හෝ 1918 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ ලබාගත හැකි බව එම මණ්ඩලය සඳහන් කළා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk