2026-07-22 11:51:00 Hours
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (22) පැවති රැස්වීමේදී ප්‍රතිපත්ති පොලී අනුපාතය සියයට 8.75ක වත්මන් මට්ටමේම පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා.
දේශීය සහ ගෝලීය ආර්ථික තත්ත්වයන් මෙන්ම ඉදිරි ආර්ථික දැක්ම සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණයට එළඹුණු බව මහ බැංකුව නිවේදනය කරයි.
මැදපෙරදිග කලාපයේ යළි උත්සන්න වී ඇති ආතතීන් හේතුවෙන් ගෝලීය භාණ්ඩ මිල ගණන්, විශේෂයෙන් ඛනිජ තෙල් මිල ඉහළ ගොස් ඇති අතර, එම තත්ත්වය ශ්‍රී ලංකා ආර්ථිකයටද බලපෑම් එල්ල කළ හැකි බව මහ බැංකුව පෙන්වා දෙනවා.
2026 ජූනි මාසයේදී ශ්‍රී ලංකාවේ සමස්ත උද්ධමනය වාර්ෂික පදනම මත සියයට 6.8 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඊට ප්‍රධාන වශයෙන් දේශීය බලශක්ති සහ ආහාර මිල ඉහළ යාම හේතු වී තිබෙනවා.
කෙසේ වෙතත්, ඉදිරි කාලයේදී උද්ධමනය ක්‍රමයෙන් සියයට 5ක ඉලක්කගත මට්ටම වෙත යළි පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව මහ බැංකුව සඳහන් කරනවා.
මේ අතර, 2026 අප්‍රේල් මාසයේ සිට බාහිර ජංගම ගිණුමේ හිඟයක් වාර්තා වී ඇති අතර, ඉන්ධන ආනයන වියදම් ඉහළ යාම සහ සංචාරක ආදායම් වර්ධනය මන්දගාමී වීම ඊට බලපා ඇති බවද නිවේදනයේ දැක්වෙනවා.
එසේ වුවද, මෑතකදී ගත් ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග හේතුවෙන් මෝටර් රථ ඇතුළු ආනයන සඳහා වන ඉල්ලුම ඉදිරියේදී අඩුවනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරනවා.
එමෙන්ම, 2026 වසරේ මේ දක්වා විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ශක්තිමත්ව පැවති අතර, ජූනි මාසය අවසන් වන විට ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.45 දක්වා ඉහළ ගොස් ඇති බවද මහ බැංකුව සඳහන් කරනවා.
මෑත සති කිහිපය තුළ ශ්‍රී ලංකා රුපියල ද යම් ස්ථාවරත්වයක් පෙන්නුම් කර ඇති බව මහ බැංකුව වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk