2026-07-29 16:13:00 Hours
2016 වසරේ රාජගිරියේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව පවරා ඇති නඩුව ඊයේ (28) කොළඹ මහාධිකරණයේදී කැඳවනු ලැබුවා.
එහිදී විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිචෝදනා පත්‍රයේ නෛතික දෝෂ සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති මූලික විරෝධතාව සලකා බැලුණා.
ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළේ, අධිචෝදනා පත්‍රයේ චෝදනා නීතියට පටහැනි ලෙස එකිනෙක බද්ධ කර ඇති බැවින් එය මත නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බවයි.
ඊට ප්‍රතිචාර දක්වමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ, මෙවැනි මූලික විරෝධතා ඉදිරිපත් කිරීමෙන් විත්ති පාර්ශ්වය නඩු විභාගය ප්‍රමාද කිරීමට උත්සාහ දරන බවයි.
කෙසේ වෙතත්, එම චෝදනාව ප්‍රතික්ෂේප කළ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා කියා සිටියේ, නඩුව කිසිදු අවස්ථාවක විත්ති පාර්ශ්වය හේතුවෙන් කල් ගොස් නොමැති බවත්, 2023 වසරේ ඉදිරිපත් කළ මූලික විරෝධතාවට පිළිතුරු ලබාදීමට පැමිණිල්ල වසර තුනකට ආසන්න කාලයක් ගෙන ඇති බවත්ය.
අදාළ මූලික විරෝධතාව සම්බන්ධයෙන් නියෝගය ප්‍රකාශ කිරීම සඳහා නඩුව ලබන අගෝස්තු 3 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කළා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk